කිළිනොච්චි අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂි කාච පිරිනැමේ
30th March 2016
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංවිධානයෙන් සිදු කරනු ලැබූ එම බල ප්‍රදේශයෙහි දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා අක්ෂි කාච බෙදාදීමේ මාසික වැඩසටහනෙහි තවත් එක් අදියරක් බදාදා (23) දින කිළිනොච්චි මූලික රෝහලේ දී පවත්වනු ලැබීය. කොළඹ පිහිටි විශ්වපාරමි පදනම විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය හා එක්ව දිළිඳු පවුල්වල දෘශ්‍යාබාධිත රෝගීන් වෙනුවෙන් මෙම කර්තව්‍යය සිදු කළ අතර, පසුගිය මාස කිහිපය පුරා ද කිලිනොච්චි ප්‍රදේශයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි. ඒ අනුව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය නිශාදි රණසිංහ මහත්මිය, කිළිනොච්චි කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයරාසා මහතාගේ සහ අනෙකුත් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් මෙම අදියර යටතේ කිළිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් අක්ෂි රෝගීන් 16 දෙනෙකු සඳහා අක්ෂි කාච බෙදා දෙනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදක බ්‍රිගේඩියර් සේනක දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අධික මිලක් වැය කොට තම අක්ෂි රෝගි තත්වයට අදාල කාච ලබා ගැනීමට මුදල් වැය කිරීමට නොහැකිව දිළිඳු තත්වයේ සිටි රෝගීන්ට මෙලෙස අක්ෂි කාච පිරිනැමීම මහත් සහනයක් විය.