සංහිඳියාව සංකේතවත් කරමින් ප්‍රමුඛත්වය මත වැන්දඹු කාන්තාවක් සඳහා නව නිවසක්
25th March 2016
හොඳ හිත, සහජීවනය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වෙත ඉඩමක් මිළදීගෙන නව නිවසක් ඉදිකරදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ. යුද හමුදාපතිගේ හමුදා සාමාජිකයන් සඳහා නිවාස ඉදිකිරිමේ අදහසකට අනුව මේ වන විට ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ක්‍රියාන්විත සේවයේ යෙදි සිටිය දී මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වන වේලුපිල්ලේ මනෝ දයාලිනි මහත්මිය සඳහා මෙම නිවාස ඉදිකරදීමට කටයුතු සංවිධානය කරන ලදි. ජාඇල දී මෙම නව නිවස ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ චාම් උත්සවය අද (24) උදෑසන පැවැත් වූ අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් රට වෙනුවෙන් දිවිපිදූ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත කරන උපහාරයක් ලෙස ඉඩමක් මිළදීගෙන රුපියල් මිලියන 7.2 ක් වටිනා මෙම නිවස ඉදිකිරීමට කටයුතු යොදා ඇත. බෞද්ධ හා හින්දු ආගමික වතාවත් හා චාරිත්‍ර අනුව පැවැත් වූ මෙම චාම් උත්සවයේ දී මුල්ගල් තැබිම ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති, එම නිවාසලාභී මහත්මිය ඇතුලු පවුලේ ළඟම ඥාතීන් විසින් සිදු කරන ලදි.