රාජ්‍ය ගෞරව සහිතව මහානායක හිමියන්ගේ ආදාහන කටයුතු සිදුකිරීම සඳහා යුද හමුදා භට පිරිස්හි පූර්ණ සහාය
13th March 2016
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (13) පස්වරුවේ පැවැත්වෙන සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියන්ගේ අදාහන පූජෝත්සවයේ කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීම සඳහා පූර්ණ සහායෝගය දක්වනු ලැබේ. ඊයේ පස්වරුවේ මහානායක හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානය වෙත පැමිණි යුද හමුදාපතිතුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් අපවත් වී වදාළ මහානායක හිමියන් වෙත සිය අවසන් ගෞරව දැක්විය. රාජ්‍ය සම්ප්‍රදායන් අනුව යමින් යුද හමුදා භට පිරිස් විසින් දේහය තැන්පත්කොට ඇති ස්ථානයේ දිවා රාත්‍රි මුරයක් ද, අනෙකුත් භට පිරිස් විසින් දේහය වඩම්වාගෙන යන මාර්ගය දෙපස සිට දේහයට ගෞරව දැක්වීම ද, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් වෙඩිමුරයක් පිරිනැමිම ද සිදු කරනු ලැබේ. මහානායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳ සැළ වූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අදාහන කටයුතු සිදු කරන ස්ථානය පිරිසිදු කිරීම සහ අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීම ආදිය සිදුකරන ලදි. තවද, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීරගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ සෙබලුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ අදාහන පූජෝත්සවයේ සංවිධායකවරුන් සමඟ එක්ව මෙම කටයුතුවල නිරත විය. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති ඒ.පී.ද ඉසෙඩ්. වික්‍රමරත්න සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ.සේනාධිර ද මහානායක හිමියන්ගේ දේහය වෙත අවසන් ගෞරව දැක්විය.