රජරට ප්‍රදේශයෙන් වකුගඩු රෝගය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට යුද හමුදාවේ සහාය
11th March 2016
ශ්‍රී ලංකාවට තර්ජනයක්ව පවතින නිදන්ගත වකුගඩු රෝගය මැඬලීමට ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙන යන ජාතික වකුගඩු රෝග මර්දන වැඩසටහනට සිය සහයෝගය දක්වන යුද හමුදාව රුපියල් මිලියන 101 ක් ඒ වෙනුවෙන් පිරිනැමීමටත්, අනුරාධපුරයේ දී වකුගඩු රෝගීන් වෙනුවෙන් විශ්‍රාම ශාලා සංකීර්ණයක් ඉදි කිරීමට එකඟ වි සිටී. ලෝක වකුගඩු දිනයට සමගාමීව අනුරාධපුර, මැදවච්චියේ දී අද (10) පෙරවරුවේ පැවති ජාතික උත්සවයේ දී ඒ සඳහා සහභාගි වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මේ බව පැවසීය. මෙම ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අතර, මැති ඇමතිවරුන් හා විවිධ විශේෂඥයින් ද ඊට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව තුල පවතින නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීමේ කටයුතු සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය ස්ථාපිත කිරීම මෙහි දී ප්‍රධාන කාර්යයක් විය. පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් “වකුගඩු රෝගය සහ දරුවන් ” යන්න මෙවර උළෙලේ තේමාව සකස්ව ඇති අතර, ඒ අනූව දැනුවත් කිරීමේ වැඩසටහන්, වළක්වා ගැනීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග, මහජන දේශන, ඒ වෙනුවෙන් සකස් කළ ග්‍රන්ථයක් නිකුත් කිරීම සහ ප්‍රචාරක කටයුතු වැනි වැඩසටහන් ඒ අතරට එක්විය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අන්වර් සදත් මහතා, ප්‍රජා සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ඉරෝෂ ජයකොඩි මහතා සහ ප්‍රවීන ගායක කීර්ති පැස්කුවල් මහතා මේ වෙනුවෙන් සකස් කළ දේශනවලට සම්පත්දායකයන් ලෙස සහභාගි වෙමින් මෙම ජාතික වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ වැදගත්කම පෙන්වා දෙන ලදී. මෙලෙස ජනාධිපති කාර්යසාධක බලකායට යුද හමුදාව මූල්‍යමය ආධාර සැපයූසේම වකුගඩු රෝගය මැඬලීමේ ජාතික ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට මෙම අවස්ථාවට නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ද එකඟ විය. යුද හමුදාව තුල සිටින සියලු සාමාජිකයින්ගේ දිනක වැටුප එක් කොට රුපියක් මිලියන 101 ක මුදලක් එළඹෙන මාසයේ දී ජාතික නිදන්ගත වකුගඩු රෝගී අරමුදලට පිරිනැමීමට කටයුතු කරන බව යුද හමුදාපතිතුමා මැදවච්චියේ දී පැවසීය. එමෙන්ම අනුරාධපුර රෝහල් සංකීර්ණයට යාබදව ඉදිකිරීමට යෝජිත වකුගඩු රෝගීන් සඳහා වන විශ්‍රාම ගැනීමේ ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදා ඉංජිනේරුවන්ගේ සහ වෘත්තීය භට පිරිස්වල ශ්‍රම දායකත්වයෙන් ඉදි කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය ජනාධිපති කාර්යසාධක බලකායෙන් සැපයීමට නියමිතව ඇත.