ජාතික රයිෆල් තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද හමුදා පිස්තෝල කණ්ඩායමට

29th February 2016

ජාතික රයිෆල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය යුද, නාවික, ගුවන් සහ පොලිස් රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමජ 14 කගේ සහභාගීත්වයෙන් දින 4 ක් පුරා පැවැත්වුණ අතර, එහිදී ශ්‍රී ලංකා යුද හමුදා පිස්තෝලකරුවන් රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගනිමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගනු ලැබීය. මෙම තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයෙහි විවිධ කාණ්ඩයන් යටතේ නිදර්ශන ඉරිදා (28) පස්වරුවේ ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පිස්තෝල වෙඩිපිටියේ දී ඉදිරිපත් කරනු ලැබීය. එම තරඟාවලියේ කුසලාන ප්‍ර‍දානය ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති අතර, එම අවස්ථාවෙහි ප්‍ර‍ධාන ආරාදිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීය. උත්සවයේ පිළිගැනීමේ කතාව ජාතික රයිෆල් සංගමයේ සභාපති සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් සිදු කරනු ලදී. ජාතික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය - 2015, මෙම මස 25 - 28 දක්වා දින හතරක් පුරා ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු පිස්තෝල වෙඩිතැබීමේ වෙඩි පිටියේ දී පවත්වනු ලැබීය. එහිදී යුද හමුදා ක්‍රීඩකයින් වර්ථාගත ජයග්‍ර‍හණයක් දිනා ගැනීමට සමත් විය. එම අවස්ථාවේ දී ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින් සඳහා කුසලාන පිරිනමනු ලැබීය. අනතුරුව ජාතික රයිෆල් සංගමයේ ලේකම් ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් වරුණ ප්‍රනාන්දු ගේ ස්තුති කතාවෙන් පසු උත්සවය සමාප්ත විය. උත්සවය අවසානයේ යුද හමුදාපතිතුමා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සිවිල් ක්‍රීඩා සමාජවල සාමාජිකයින් සහ වෙඩික්කරුවන් සමඟ එක්ව සමූහ ඡායාරෑපයක ද පෙනී සිටියහ.