බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍ර‍තිසංස්කරණය කළ පාලම නැවත ජනතා අයිතියට

26th February 2016

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍ර‍ධානත්වයෙන් මූණමල්වත්ත ප්‍රදෙශයේ දී ප්‍ර‍තිසංස්කරණය කළ පාලමක් බ්‍ර‍හස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයක දී විවෘත කරනු ලැබූ අතර, මතුගම මැද්දේගෙදර ඔය ආශ්‍රිතව මෙම පාලම පිහිටා ඇත. මතුගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රදේශවාසීන් විසින් යුද හමුදාවෙන් කළ ඉල්ලීමක් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගේ ශ්‍ර‍ම දායකත්වයෙන් දැඩි ලෙස අබලන්ව තිබූ මෙම පාලම යකඩ බාල්ක ආදිය යොදා නැවත ඉදි කළ අතර, එය දිගින් අඩි 238 ක් හා පළලින් අඩි 4 ක් පමණ වේ. සමාජ සේවා ව්‍යාපෘති හරහා සෙබලුන් දියත් කරන වැඩසටහන්වලට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් සහ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබලුන් මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කල අතර, එහි ඉදිකිරීම් වටිනාකම රුපියල් මිලියනයක් පමණ වේ. මහා සංඝරත්නයේ ආශිර්වාද සහ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ප්‍ර‍තිසංස්කරණය කිරීමෙන් පසු මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සමගින් ප්‍ර‍ධාන ක්ෂේත්‍ර‍ඉංජිනේරු මේජර් ජෙනරාල් ජී.ඩී.අයි කරුණාරත්න, 581 බලසේනාධිපති, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ තවත් ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.