නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සිය ධූරයෙහි රාජකාරී අරඹයි
25th February 2016
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා බ්‍රහස්පතින්දා (25) දින ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. ‘සුමේධ’ නමින් කා අතරත් ජනප්‍රිය මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මෙම ධූරයට පත් වීමට ප්‍රථම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ධූරය හොබවනු ලැබීය. මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා නිල කාර්යාලයේ දී නව ධූරයෙහි රාජකාරී භාර ගැනීම සංකේතවත් කරමින් ලිපි ලේඛන සඳහා අත්සන් තබනු ලැබීය. මෙම අවස්ථාව සඳහා හමුදා ලේකම් මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.කේ.පී වික්‍රමසිංහ, රංග කලා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.එච්.පී මිහිදුකුලසූරිය සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ; මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි. මදුරාසි - ඉන්දීය නිලධාරි පුහුණු පාසලෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයෙන් මූලික නිලධාරි කෙඩෙට් පුහුණුව අවසන් කළ අතර, ඔහු මුලින්ම 1981 වසරේ දී රජරට රයිෆල් රෙජිමේන්තුවට ඇතුලත් කළ අතර, ඉන් අනතුරුව 1983 දී ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදි. මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා වඩමාරච්චි සිට එල්ටිටිඊ යට එරෙහිව පවත්වන ලද යුද මෙහෙයුම් සියල්ලකටම පාහේ ක්‍රියාකාරීව සහභාගී විය. මොහු ත්‍රිවිධ හමුදාවේ වැඩිම සම්මාන හිමි නිලධාරින් අතරට එක් වේ. ඔහු වෙත වීර වික්‍රම විභූෂණ පදක්කම (ඩබ්ඩබ්වි), රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි), රණ ශූර පදක්කම (ආර්එස්පි) උත්තම සේවා පදක්කම (යූඑස්පි) පිරිනමා ඇත. 1984 දී සටන් බිමේ දී මේජර් ජෙනරාල් පෙරේරා තුවාල ලැබීම හේතුවෙන් දේශ පුත්‍ර පදක්කමෙන් ද පිදුම් ලැබීය. එමෙන්ම ඔහු එල්ටීටීඊයට එරෙහි මෙහෙයුම්වල දි මහත් පිටුවහලක් වූ ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බල සේනාව පිහිටුවීමට මූලිකව ක්‍රියා කළ පිරිසෙන් එක් අයෙකි. ඔහු යුද හමුදා පුහුණු පාසලේ සහ පාබල පුහුණු පාසලේ සේනාවිධායක විය. මේජර් ජෙනරාල් පෙරේරා ආරක්ෂක අමාත්‍යාංශ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය ලෙසත් කටයුතු කරන ලද අතර, ඔහු 533 පාබල බලඇණියට මෙන්ම තවත් පාබල බලඇණි කිහිපයකට අණදීම සිදු කර ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විධායක අධිකාරි, කොළඹ සමස්ත මෙහෙයුම් අණදෙන කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති, විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති, යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලිකයන තනතුරු ද මේජර් ජෙනරාල් පෙරේරාගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන විය. මේජර් ජෙනරාල් පෙරේරා කණිෂ්ඨ අණදීම් පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ නිලධාරී පාඨමාලාව, ඉන්දියාවේ පැරෂුට් පාඨමාලාව, පකිස්ථානයේ Mid-Career පාඨමාලාව හදාරා ඇති හෙතෙම 2000 වර්ෂයේ ශාන්තිකර මූලස්ථානයේ පැවැති ආපදා කළමනාකරණ සම්මන්ත්‍රණයට ද සහභාගි විය. එමෙන්ම ඔහු චින මහජන විමුක්ති හමුදා ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. ඔහුගේ පාසල් සමයේ සමස්ත ලංකා මට්ටමින් දක්ෂ ක්‍රීඩකයෙක් වන අතරම, විශිෂ්ට සංගීතඥයෙක් ද වේ. මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, හිමාෂිනි පෙරේරා මහත්මිය සමඟ විවාහ වි ඇති අතර, ඔවුනට දියණියක් සහ පුතෙකු වේ.