අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සල මණ්ඩල දින ධාවනය 2016 කොළඹ දී

21st February 2016

අන්තර්ජාතික හමුදා ක‍්‍රීඩා කවුන්සල දින ධාවනය ඉරිදා (21) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ, රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනය අභියසින් ආරම්භ වූ අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති මෙන්ම ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ ගරු සභාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ආර්. මානවඩුගේ මෙන්ම ගුවන් හමුදා සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මීට එක්ව සිටියහ. ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් සිය ගණනක් මෙම කිලෝමීටර් දෙකකින් යුක්ත වූ අන්තර්ජාතික හමුදා ක‍්‍රීඩා කවුන්සල දින ධාවනය සඳහා සහභාගි විය. 1948 වසරේ පෙබරවාරි මස 18 වන දින ආරම්භ කරන ලද රටවල් 133 ක සාමාජිකත්වයෙන් යුත් අන්තර් ජාතික හමුදා ක‍්‍රිඩා කවුන්සල විසින් විවිධ ක්‍රීඩා අංගයන් රැසක් සංවිධානය කරනු ලබයි. 1998 වසරේ අත්සන් තැබු සම්මුතියකට අනුව ක‍්‍රියාත්මක මෙම ධාවනය, සාමාජික සියළුම රටවල හමුදාවන් විසින් සිදුකරනු ලබන අතර, “ක‍්‍රිඩාව තුළින් මිත‍්‍රත්වය” යන පාඨය තේමා කර ගනිමින් අන්තර්ජාතික හමුදා ක‍්‍රීඩා කවුන්සල මගින් විවිධ රටවල හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කරනු වස් මෙවැනි ක‍්‍රීඩා අංගයන් පවත්වනු ලබයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.