යුද හමුදාපති නව ක්‍රීඩාගාරයේ අවසන් ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයක

21st February 2016

නාරාහෙන්පිට යුද හමුදා රෝහල් ශ්‍ර‍වණාගාරයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී පදක්කම්ලාභී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උපහාර පිරිනැමිමේ උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉදිකරමින් පවතින නව ක්‍රීඩාගාරයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීමට සෙනසුරාදා (20) දහවල් පනාගොඩ යුද හමුදා ජනපදය වෙත පැමිණෙන ලදි. ප්‍ර‍ධාන වශයෙන් මෙම ක්‍රීඩාගාරය 2016 වර්ෂයේ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සියලුම මලල ක්‍රීඩා ඉසව් පැවැත්විම සඳහා නිර්මාණය කරනු ලබන අතර, මේ වනවිට අවසන් ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන එහි විවෘත කිරීමේ කටයුතු ද නුඳුරේ දී සිදු කිරීමට නියමිතය. මෙහි පැමිණි යුද හමුදාපතිතුමන්ව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ආර්. මානවඩුගේ විසින් පිළිගත් අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සමඟින් ඉදිකරමින් පවතින ක්‍රීඩාගාරය නිරික්ෂණය කරන ලදි. මෙම නිරික්ෂණ සංචාරයේ දී යුද හමුදාපතිතුමා ක්‍රීඩාගාරය ඇතුලත ඉදිකිරිමට නියමිත අනෙකුත් අංශයන්ගේ පහසුකම් හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර, සිදු කළ යුතු වෙනස්කම් කිහිපයක් ද යෝජනා කරන ලදි. තවද මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් කිහිපදෙනෙකු විසින් යුද හමුදාපතිතුමා වෙත මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කිරිමක් ද මෙහිදි සිදු කෙරිනි. මෙදින වැඩසටහන බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයත් සමඟින් නිමාවිය.