යුද හමුදාපතිතුමා කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි පුහුණු කටයුතු පිළිබඳ නිරීක්ෂණයක

20th February 2016

කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි යටිතල පහසුකම් සහ පුහුණු කටයුතු වල ප්‍ර‍ගතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (19) දින පෙරවරුවේ එහි සංචාරයක නිරත විය. එහිදී යුද හමුදාපතිතුමන් වෙත පිවිසුම් දොරටුව අභියස දී එම පුහුණු පාසලේ සෙබලුන් විසින් හමුදා සම්ප්‍ර‍දායානකූලව ආචාර සම්මාන මුරයක් ද පිරිනමමින් පිළිගනු ලැබීය. අනතුරුව කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.පී.එන්.කේ ජයපතිරණ විසින් යුද හමුදාපතිතුමා පිළිගත් අතර, එතුමන් කාර්යාල පරිශ්‍ර‍ය වෙත කඳවාගෙන යනු ලැබීය. ඉන් විනාඩි කිහිපයකට පසුව ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි සේනාවිධායක විසින් යුද හමුදාපතිතුමා වෙත එම පුහුණු පාසලේ විදේශීය පුහුණු සහ එක්සත් ජාතීන්ගේ පුහුණු කටයුතු මෙන්ම අනාගත අපේක්ෂාවන් ආදිය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම පුහුණු පාසලෙහි පුහුණුව ලබමින් සිටින සියලු නිලයින් ඇමතූ අතර, ඒ සඳහා උපදේශකයින් ඇතුළු නිළධාරීන් 71 දෙනෙකු සහ සෙසු නිලයින් 439 දෙනෙකු ඇතුලත් වේ. එදින අවසාන භාගයේ දී යුද හමුදාපතිතුමා පුහුණු පාසලෙහි අවට මෙන්ම නවාතැන් පහසුකම්, විනොදාත්මක සහ ක්‍රීඩා පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් හි ප්‍ර‍මිතිය නිරීක්ෂණය කරන ලදී. අනතුරුව යුද හමුදාපතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති සියළු නිළ දිවා භෝජන සංග්‍ර‍යකින් පසු හමුදාපතිතුමා විසින් එම පුහුණු පාසලෙහි‍විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද සටහන් තැබීමට අමතක නොකළහ. මෙම සංචාරය සඳහා නව ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, හමුදා ලේකම්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ධාන මාණ්ඩලික, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක් වූහ.