කමාන්ඩෝ සෙබලාගේ වික්‍රමාන්විතයෙන් තරුණ ජීවිතයක් සුරැකේ
19th February 2016
කාලෝචිත හා තැනට සුදුසු නුවණ යොදා ගනිමින් 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.පී.එම්.ජී.එස් වික්‍රමරත්න විසින් සඳුදා (15) දින පස්වරුවේ කොත්මලේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පරිශ්‍රයේ ඇති පිහිනුම් තටාකයෙහි ගිලී සිටි ගම්පොළ සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි මෙහොමඩ් නිකාම් නැමති පාසල් සිසුවාගේ දිවි බේරාගෙන ඇත. එම නිවාඩු නිකේතනයේ අඩි 16 ක් ගැඹුරු පිහිනුම් තටාකයේ පිහිනමින් සිටින අතරතුර එම පාසල් සිසුවා හට තටාකයේ පත්ලේ සිට නැවත මතුපිටට පැමිණිමට පැමිණිමට අපහසුව ඒ මේ අත යමින් තම දිවි බේරා ගැනීමට උත්සාහ කලද එය සාර්ථක වී නොමැත. මේ අතරතුර 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනියුක්තව රාජකාරී කරනු ලබන කෝප්‍රල් එම්.පී.එම්.ජී.එස් වික්‍රමරත්න රාජකාරී නිමා වී යතුරු පැදියෙන් නිවස වෙත ගමන් කරන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ ගැවසෙනු දුටු කෝප්‍රල් එම්.පී.එම්.ජී.එස් වික්‍රමරත්න ඒ පිළිබඳව විමසා දැනගැනීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වී ජලය සමඟ පොරබදිමින් සිටි සිසුවා බේරා ගැනීම සඳහා තමන් ඇද සිටි ඇදුමෙන්ම දියට පැන ඇත. ජීවිතයත් මරණයත් අතර පොරබදිමින් සිටි සිසුවා මහත් ආයාසයක් දරමින් බේරාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ඉතා කඩිනමින් ලබා දීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට මෙම සෙබලා කටයුතු යොදා ඇත. මේ වන විට එම සිසුවා ගම්පොළ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටියි. ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙහි බ්‍රස්පතින්දා(18) දින සංචාරයක නිරත වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එහි භට පිරිස් අමතන අතරතුර මෙම සෙබලාගේ නිර්භීත ක්‍රියාව විශේෂ ඇගයීමකට ද ලක් කරන ලදී.