කිළිනොච්චි හමුදා සෙබලුන් කාන්තාවකගේ දිවි බේරාගනී

26th January 2016

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 57 වන සේනාංකය හා 571 බලසේනාව යටතේ ස්ථාපිත 16( ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් විසින් ඉරිදා (24) පෙරවරුවේ භාරතිපුරම් ප්‍ර‍දේශයේ අඩි 15 ක් ගැඹුරු ලිදකට වැටුණු දෙදරු මවකගේ ජීවිතය බේරා ගැනීමට සමත් විය. කෝප්‍ර‍ල් ජී.එස්.පී ධර්මසේන සහ සාමාන්‍ය සෙබල ජී.කේ.එන් කාවින්ත යන දෙදෙනා කිළිනොච්චි ප්‍ර‍දේශයට ගොස් නැවත භාරතිපුරම් ප්‍රදේශය හරහා කදවුරට පැමිණෙමින් සිටියදී කුඩා ළමුන් දෙදෙනෙකු උදවු ඉල්ලා කෑගසනු ලබන්නේ කුමක් නිසාද යන්න පිලිබදව විමසා ඇත. එහිදී වයස 37 ක් පමණ වන කේ. අමුදා නම් දෙදරු මව පානීය ජලය සදහා යොදා ගන්නා මෙම ලිදට වැටී සිටි අතර, දිවි බේරා ගැනීම සදහා පොර බදන මෙම කාන්තාව දුටු කෝප්‍ර‍ල් ජී.එස්.පී ධර්මසේන අසල් වාසීන්ගෙන් කඹයක් ලබාගෙන තම ජීවිතයද පරදුවට තබා ලිදට පැන එම කාන්තාව බේරා ගැනීම සදහා යුහුසුළුව ක්‍රියාත්මක වී ඇත. අනතුරුව දියෙහි ගිලෙමින් සිටි කාන්තාව අනෙක් යුද හමුදා සෙබලාගේ සහය සහ අසල්වාසීන්ගේ සහය ඇතිව කඹය ආධාරයෙන් නිරුපද්‍රිතව ගොඩට ගනු ලැබීය.