කාන්දු වූ තෙල් තවදුරටත් පැතිරිම වැළැක්වීමට යුද හමුදා සෙබලුන්ගේ සහාය
19th January 2016
නිල්වලා ගඟට ඩීසල් කාන්දු වී පානීය ජලයට එක්විම නිසා එම ජලය දූෂණයවීම තවදුරටත් වැළැක්වීම සඳහා බලධාරීන්ගේ ඉල්ලීම මත යුද හමුදා නිලධාරියෙක් සමඟින් යුද හමුදා සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳුදා (18) දින හානියට පත් ප්‍රදේශ වෙත ගොස් එම ඩීසල් පැතිරීම වැළැක්වීමට අවැසි ක්‍රියාමාර්ග ගැනීමට යුහුසුළුව ක්‍රියා කළෝය. සෙබලු වහා ක්‍රියාත්මක වී තෙල් පැතිරී ඇති ප්‍රදේශය තවදුරටත් පුළුල්වීම අවහිර කරමින් වැලි මළු අතුරා පානය කිරීමට හා වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිල්වලා ගෙඟ් ජලය භාවිතා කරන දහස් ගණනක් ජනතාවට ජලය ආරක්ෂා කරදීමට ක්‍රියා කරනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 581 බලසේනාවේ බලසේනාධිපති පෞද්ගලිකවම පැමිණ මේ පිළිබඳ කරුණු සොයා බලා ආපදා තත්වයෙන් මිදීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දුන්හ. බටහිර ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පරිසර අධිකාරිය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිතයින් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගි වූහ.