‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයේ තවත් එක් පෙර පුහුණු සැසි වාරයක් අම්පාර නගර මධ්‍යයේ දී පැවැත්වේ

8th October 2021

ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය මේ වනවිට අම්පාර යුද්ධ හමුදා පුහුණු පාසලේදී ක්‍රියාත්මක වන අතර එහි තවත් එක් ප්‍රායෝගික පුහුණු සැසි වාරයක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින අම්පාර නගර මධ්‍යයේදී පැවැත්විණි.

ඉන්දීය යුද්ධ හමුදා භටපිරිස් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් මස 3 දින ආරම්භ වූ මෙම අභ්‍යාසයේදී මාර්ග බාධක ක්‍රියාත්මක කිරීම, කැරලි කණ්ඩායම් විසුරුවා හැරීම, රැකසිට පහරදීම් වැළැක්වීම සහ නාගරික මුර සංචාර පැවැත්වීම වැනි අභ්‍යාසයන් අඛණ්ඩව සිදුකෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත 53 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ‘මිත්‍ර ශක්ති’ යුද පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ අධීක්‍ෂණය යටතේ මෙම යුද අභ්‍යාසය ක්‍රියාත්මක කරනු ලබයි.

මේ වනවිට ක්‍රියාත්මක වන ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය තුලින් යුද්ධ හමුදා කණ්ඩායම් දෙක අතර පවත්නා ද්විපාර්ශ්වික අවබෝධය සහ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයින් 120 දෙනෙකු සහ ඊට සමාන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් ද සහභාගී වේ.