ජාතික වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

17th December 2015

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය - 2015 හි ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගත් අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය බ්‍රහස්පතින්දා (11) දින කෝට්ටේ සෝලිස් හෝටලයේ දී පැවැත්විනි. ශූරතාවය ලබා ගත් කණ්ඩායම හට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහභාගි වූ අතර, එම අවසථාව සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද එක්වූහ. මෙවර පිස්තෝල අංශයේ වෙඩි තැබීමේ තරඟාවලියේ දී තරඟ පැවති දින හත පුරාම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක් වූ අතර, කාන්තා සහ පිරිමි තරඟ ඉසව් නොවැම්බර් මස 18 සිට 24 දින දක්වා සතියක කාලයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි පිටියේ දී පවත්වනු ලැබීය. මෙවර ප්‍රිස්ටල් වෙඩි තැබීමේ තරඟාවලියෙහි පිරිමි අංශයෙහි දක්ෂතම වෙඩි තබන්නා ලෙස කෝප්‍රල් එම්.පී පතිරණ සහ කාන්තා අංශයෙහි දක්ෂතම වෙඩි තබන්නිය ලෙස කාන්තා සෙබල ඒ.අයි.ඩී.ඒ කුලතුංග කුසලාන සහ සම්මාන දිනා ගනු ලැබීය. මෙහි අවසන් අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ වෙඩි තැබීමේ තරඟ සඳහා ප්‍රිය කරන ක්‍රීඩාලෝලීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.