ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝහාර දක්වයි

30th November 2015

ශ්‍රී ලංකාවේ පස් දින (නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් 04) සංචාරයක නියුතු ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං ඉන්දීය යුද හමුදා සාමසාධක හමුදාවන්හි එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් සමඟ පැවති සටන්වලදී දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ඉරිදා (29) දින පුෂ්පෝහාර දක්වනු ලැබීය. 1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කර පළමු පැය 24 ඇතුලත පළමු ඉන්දීය සාමසාධක භට කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණි හෙතෙම එකල දියත් කල ක්‍රියාන්විත පිළිබඳව මතකය අවධි කරනු නිසැකය. එමෙන්ම ඉන්දීය සාමසාධක හමුදාව විසින් යාපනය මුදවාගැනීම සඳහා දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුමේ කණ්ඩායම් භාර නිළධාරියෙකු ලෙස භට පිරිස් මෙහෙය වූ අතර, එය ජෙනරාල් ඩල්බීර් සිං ගේ ප්‍රථම යුදබිම් ක්‍රියාන්විතය ද වේ. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල සහ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එම් හතුරුසිංහ විසින් පිළිගෙන විශේෂ පීථිකාව වෙත රැගෙන යන තුරු ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සෙබලුන් විසින් හමුදා චාරිත්‍ර ආරම්භ කිරීම සඳහා සූදානම්ව සිටිනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් සහ ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා සෙබලුන්ගේ ගෞරව මධ්‍යයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ජීවිත පූජාකළ ඉන්දීය රණවිරුවන් සිහිකරමින් ජෙනරාල් ඩල්බීර් සිං රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය. හමුදා සම්ප්‍රදායන්ට අනුව පවත්වනු ලැබූ පුෂ්පෝපහාර පිරිනැමීම බියුගල් නාදය ද සමගින් අවසන් කරනු ලැබීය. මෙම පුෂ්පෝපහාර දැක්ම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගොපාලන් සමගින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගි වූහ.