සෙබලුන්ගේ දායකත්වයෙන් වාන් දොරටුව යථා තත්වයට පත් කොට විවෘත කෙරේ
17th November 2015
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු වැවෙහි වාන් දොරටු විවෘත කිරීමේ දී එක් වාන් දොරටුවක් විවෘත කිරීමට යාමේ දී ඇති වූ ගැටලු සහගත අවස්ථාවේ කිළිනොච්චි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සමඟ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 9 වන ඉංජිනේරු සෙබලුන් එක්ව වාන් දොරටුව යථා තත්වයට පත් කරනු ලැබීය. අධික වර්ෂාව හේතුවෙන් වැවෙහි ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබිය දී වැව් බැම්මට සිදු වන හානිය වළක්වා ගැනීමේ අරමුණින් අතිරික්ත ජලය මුදා හැරීමට වාන් දොරටු විවෘත කිරීමේ දී එය අනපේක්ෂිතව අවහිරවීම නිසා දැඩි අවදානම් තත්වයක් ඇති වී තිබේ. මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නොහැකිවීමෙන් ඇති වෙන්නට ගිය විනාශකාරී තත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රදේශයේ වාරිමාර්ග ඉංජිනේරුවරුන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුගේ උපදෙස් අනූව කඩිනමින් එම ස්ථානයට 9 වන ඉංජිනේරු සෙබලුන් යවා එම ක්‍රියාව ඉතා යුහුසුළුව ඉටු කරනු ලැබීය. අවසානයේ මෙම උත්සායහ සාර්ථක වී අවහිර වී තිබු වාන් දොරටු විවෘත කොට අතිරික්ත ජලය මුදා හැරීමට මෙම පිරිසට හැකිවිය.