නිල්වලා ජල ප්‍රවාහයට හසු වූ කාන්තාවගේ දිවි බේරාගෙන රෝහල් ගත කෙරෙයි

17th November 2015

පසුගිය සඳුදා (16) දින පස්වරුවේ මාතර නගරයෙන් ගලා බසින නිල්වලා ගඟට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සහා කළ කාන්තාවක් එම නගරයේ පිහිටි යුද හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකුගේ ද සහයෝගය ඇතිව ක්ෂණිකව ක්‍රියාත්මක වී බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කෙරුනි. සී.එස්. මාවතගම නම් වූ 32 හැවිරිදි එක් දරු මවක් වන මෙම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ පවුල් ආරවුලක් මත නිල්වලා ගඟේ මහානාම පාලම අසලින් ගඟට පැන මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සහ කළ බවයි. කෙසේවූවද, එම ස්ථානයේ වෙළදාමේ නිරත වූ අයෙකු මෙම සිද්ධිය දැක ප්‍රදේශයේ යුද හමුදා කඳවුරට දන්වා දිගු රිටක් ගෙනවිත් ජල රකුසා සමඟ පොර බදන මෙම කාන්තාව වෙත දිගු කොට ඇය ගොඩට ගෙන ඇත. මෙම අවස්ථාවේ දී යුද හමුදා සෙබලුන් දෙදෙනෙක් ද වහා ක්‍රියාත්මක වී අදාල කාන්තාව ගොඩට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කලහ. මේ පිළිබඳ වාර්තාවක් අඟහරුවාදා (17) දින නිකුත් කෙරුණු “අද” පුවත්පතෙහි දැක්වේ.