වර්ෂ 2015 දීපවාලි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධීපතිතුමා විසින් නිකුත් කරනු ලබන සුභාශිංෂණ පණිවුඩය
10th November 2015
අයහපත පරදවා යහපත විජයග්‍රහණය කරවීමත්, මෝහයේ අඳුර පරදා දැනුමේ ආලෝකය උදාකරලීමත් සංකේතවත් කරමින් ලොව පුරා විසිරි සිටින ද්‍රවිඩ හා හින්දු ජනතාව විසින් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන “ආලෝකයේ පණිවුඩය” හෙවත් දීපවාලි උත්සවය සමරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම හින්දු භක්තිකයන් වෙත බැතිබර සිතින් යුතුව මාගේ සුභාශිංෂණ පිරිනමමි. ආලෝක පුජාව මඟින් සමාජය තුළ ආලෝකයක් ඇති කරන ආකාරයෙන්ම එක් එක් පුද්ගලයාගේ ආත්මාලෝකයද ඇති කරන්නේය. අසුරයාගේ අයහපත පරදා විජයග්‍රහණයේ ආලෝකය උදාවීම හේතුකොටගෙන, අධ්‍යාත්මික ප්‍රබෝධය අපේක්‍ෂාවෙන් සමරනු ලබන “දීපාවලිය” යනු ඒ ඒ ජන ප්‍රජාවන් අතර අනෝන්‍ය අවබෝධය ඇති කරලීම සඳහා ඉතා සුවිශේෂී උත්සව අවස්ථාවකි. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් වන්නේද මෙම දීපවාලී උත්සවය කේන්ද්‍ර කොට ගෙන වන අතර, ආලෝකය ප්‍රධාන කොට ගනිමින් හින්දු ප්‍රජාව විසින් මෙය උත්සවාකාරයෙන් පවත්වනු ලබන්නේ තමා වාසය කරන ස්ථානය සැනසිලිදායක හා ආලෝකමත් ස්ථානයක් බවට කළ යුතුය යන හැඟීම පෙරදැරි කොටගෙනය. එය සමස්ත ශ්‍රී ලංකාද්වීපයටම ආදේශ කරමින් තම මාතෘභුමියේ සියලු ජාතීන් හා ආගමික ප්‍රජාව එකට එක්වී සතුටින් හා සාමයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමේ භාරදූර වගකීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් හින්දු භක්තික ඔබ සෑම සියලු දෙනා වෙත පැවැරෙන භාරදූර වගකීමක් හා කාර්යභාරයක් බව මේ අවස්ථාවේදී සිහිපත්කර දෙනු කැමැත්තෙමි. ශ්‍රී ලාංකේය හින්දු ජනයා පුරාණයේ පටන්ම අනෙකුත් ජනවර්ග හා ආගමික ප්‍රජාව සමඟ සාමකාමීව මෙන්ම සහජීවනයෙන් යුතුව ජීවත් වෙමින් මෙම දීපවාලී උළෙල උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ. සැමට සාමයෙන් ජීවත්විය හැකි සංතෘප්තිමත් වටපිටාවක් රට තුළ ගොඩනැගී තිබෙන මෙවන් අවධියක අප විසින් කළ යුත්තේ එම වටපිටාව අනාගතය උදෙසාද සුරක්‍ෂිතව පවත්වාගෙන යාමයි. ආගමික සංහිදියාව හා අවබෝධය වර්ධනය කරමින් සියලු ජන කොටස් අතර වෛරයේ අඳුර දුරලා ප්‍රේමයේ ආලෝකය දැල්වීම සඳහා මෙවර දීපවාලි උත්සවය මනා පිටුබලයක්ම වේවායි මම ප්‍රාර්ථනා කරමි. එසේම සංස්කෘතික ආත්මීයත්වය පෙරදැරි කොට ගනිමින් රටක් තුළ, අනෝන්‍ය අවබෝධය හා සහයෝගයෙන් යුතු ප්‍රජාවක් ජීවත්වීම වනා හී අතිශය වැදගත්ය. එවන් සංස්කෘතියක් බිහිකරලීම සඳහා දරන උත්සහයේදී ද්‍රවිඩ හා හින්දු ජනතාවගේ සහයෝගය සුවිශේෂී වැදගත්කමක් උසුලයි. රටේ අනාගත අභිවෘද්ධිය හා තිරසාර සාමයේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් ඔබ සෑම සියලු දෙනාගේම අඛණ්ඩ සුහදශීලීත්වය මා මෙහිදී අපේක්‍ෂා කරන අතර, ශ්‍රී ලංකාවේ සියලුම ද්‍රවිඩ හා හින්දු බැතිමතුන් හට ප්‍රීතිමත් හා සෞභාග්‍යමත් “ආලෝක පූජාවක්” වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට “ආලෝකයේ නව වසරක්” වේවා !