සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට පත් යුද හමුදා සිවිල් සේවක වෙත යුද හමුදාපතිතුමාගේ සුභපැතුම්
2nd November 2015
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් යුද හමුදා සිවිල් සේවක බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා බ්‍රහස්පතින්දා (29) පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවු අතර, එහි දි යුද හමුදාපතිතුමා ඔහුට සිය උණුසුම් සුභ පැතුම් එක් කලහ. යුද හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ අරක්කැමියෙකු ලෙස සේවය කරන බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා එහි අධ්‍යක්ෂ ගාමිණි මහගමගේ මහතාගේ උපදේශකත්වයෙන් යටතේ රාජ්‍ය පරිපාලන සේවය සඳහා බඳවා ගැනීමේ මෙම තරඟ විභාගය සඳහා පෙනී සිට ඉහළින්ම සමත් වූවේය. අද (29) දින යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වූ අබේවර්ධන මහතා වෙත යුද හමුදාපතිතුමා සිය සුබ පැතුම් පිරිනැමීය. එහි දී ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ දෙමාපියන් පිළිබඳව ද විමසීමක් කළ යුද හමුදාපතිතුමා යුද හමුදා සේවයේ යෙදි සිටිමින් ඔහු ලබා ගත් මෙම ජයග්‍රහණය යුද හමුදාවට ද අභිමානයක් බව පැවසීය. එමෙන්ම ඔහුට මුදල් ත්‍යාගයක් පිරිනැමීම ද යුද හමුදාපති විසින් සිදු කරන ලදී. 2015 වසරට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීම සඳහා පවත්වනු ලබන සීමිත තරඟ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 5710 දෙනෙකු අතරින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත. ඔහුගේ පියා යුද හමුදා ස්ථිර සිවිල් සේවකයෙකු ලෙස වසර 25 ක් සේවය කොට විශ්‍රාම ගොස් ඇති අතර, මේ වන විට මියගොස් ඇත. මව වන ජේ.ඒ. කුසුමාවතී මහත්මිය ද යුද හමුදා ස්ථිර සිවිල් සේවිකාවක් වන අතර, දැනට විශ්‍රාම ලබා ඔහු සමඟ අනුරාධපුරයේ වාසය කරයි. බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, වයස අවු: 12 සහ 07 යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙක්ගේ පියෙකු වේ. හෙතෙම අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණදීමෙන් අනතුරුව 2004 වර්ෂයේ දී යුද හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වී ඇති අතර, දැනට කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවය කරයි. යුද හමුදාපතිතුමා සමඟ පැවති මෙම හමුවට යුද හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ගාමිණි මහගමගේ මහතා ද එක්ව සිටියහ.