කොවිඩ්-19 වසංගතය රටින් තුරන් කිරීම සඳහා සෝමාවති පූජා භූමියේදී ආශීර්වාදාත්මක විශේෂ කප්රුක් පූජාවක් පවත්වයි
14th February 2021
කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙරටින් තුරන් කිරීම සඳහා උදාරතර මෙහෙයක් සිදුකරනු ලබන අතිගුරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි ඉටු කරනු කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන් ඇතුළු සියළු පුද්ගලයින්ට ආශීර්වාද පතා මහා සංඝරත්නයේ සංවිධානයෙන් හා මූලිකත්වයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගීත්වයෙන් විශේෂ කප්රුක් පූජාවක් ඓතිහාසික සෝමාවතිය පුද බිමේදී ඉකුත් සෙනසුරාදා (13) දින පවත්වන ලදී.
සුදු ඇඳුමින් සැරසුණු යුද්ධ හමුදා සාමාජිකයන් ඖෂධීය ගිලන් පස පූජාවක් සමගින් ඓතිහාසික ස්ථූපය වටා පැද කුණු කරමින් කප්රුක් පූජාව සිදුකරන ලදී. ඉන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් දකුණු දළඳා වහන්සේ තැන්පත් කර ඇති දෙවන සියවසට අයත් ඓතිහාසික සෝමාවතිය සෑරදුන් හට ඉතා ගෞරවයෙන් යුතුව ගිලන්පස පූජා කළේය. පසුව එතුමන් ගෞරවයෙන් යුතුව ඓතිහාසික සෝමාවතිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත පූජා කටයුතු සිදු කිරීම සඳහා ආරාධනා කරන ලදී.
එම අවස්ථාවේදී වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සදහා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිස් සාමාජිකයන් සිදුකරනු ලබන උතුම් මෙහෙවර මහා නායක හිමියන්ගේ ඇගයීමට ලක් වූ අතර, මහජනතාව රජය විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.
මෙම පිංකමේදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ සෞඛ්‍ය අංශයේ සේවකයන් හා සියලු ලක්වාසීන්ට ආශීර්වාද පතා සෙත් පිරිත් සංජ්ඣායනා කරන ලදී. මෙම විශේෂ කප්රුක් පූජා වැඩසටහන සඳහා නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ඇතුළු භීක්‍ෂූන් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.
මෙම සෝමාවතිය ස්තූපය ඉදිකිරීම කාවන්තිස්ස රජුගේ සහෝදරිය වන සෝමාවතී දේවීය සහ ප්‍රාදේශීය රජෙකු වන ගිරි අභය කුමරුගේ බිසව විසින් සිදුකර ඇති බව ඉතිහාසයේ කියවේ. එමෙන්ම මෙම ඓතිහාසික පූජා භූමියේ ඉතා බලසම්පන්න හාස්කම් තිබෙන බව බැතිමතුන්ගේ විශ්වාසය වන අතර සෝමාවති දේවිය නමින් ස්තූපය ඉදිකර ඇති බව ද ඉතිහාස වංශ කථාවල සඳහන් වේ. |