දශක අටකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාස ග්‍රන්ථය දොරට වඩි

7th January 2021

දශක අටකට ආසන්න ඉතිහාසයකට උරුම කම් කියන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාසය ලියවුණු ‘නිහඬ වීරයන්’ ග්‍රන්ථය එළිදැක්මේ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති අතර එම ග්‍රන්ථයේ නව පිටපත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගැන්විය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් යුතුව පිළිගැනීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කෙරිණි. සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් සියලුදෙනා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. මෙහි පිළිගැනීමේ දේශණය සිදුකළ මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය වර්ෂ 1943 ඔක්තෝම්බර් මස 19 වන දින එවකට ලංකා හමුදාවේ කොටසක් ලෙස ස්ථාපිත ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාසය පිළිබඳ රචිත ‘නිහඬ වීරයන්’ ග්‍රන්ථය එළිදැක්වීම සිදු කළේය.

ග්‍රන්ථයේ නව පිටපත ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධාකගේ සුරතින් පිළිගැන්වු අතර මේ සඳහා දායක වූ ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රවීණයෙකු වන බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ෆ්‍රෑන්ක් සිල්වා වෙත තවත් පිටපතක් මෙහිදි පිළිගැන්විය.

මෙහිදී, ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාසය පිළිබඳ රචිත මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම ජෙනරල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය හරින්ද්‍ර විදානගේ මහතා සවිස්තරාත්මක සමාලෝචනක් සිදුකළේය.

මෙහිදී, සියලුදෙනා ආමන්ත්‍රණය කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදීන් සමඟ පැවැති මනුෂිය මෙහෙයුම් සාර්ථක කරගැනීම සඳහා නිවැරදි තොරතුරු සන්නිවේදනය කරමින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා සංඥා බලකායට සිය ස්තූතිය පුද කළ අතර සයිබර් ආරක්‍ෂණය ඇතුළු බහුවිධ තර්ජන හමුවේ පැන නැගෙන අභියෝගයන්ට නොබියව මුහුණදෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ වර්තමාන භූමිකාව ද පෙන්වාදුන්නේය.

මෙහිදී තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නව ග්‍රන්ථයේ කතෘ මණ්ඩලයට ඇගයීම් සහතික පත් ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටියගේ සුරතින් ප්‍රදානය කෙරිණි. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමුහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ෆ්රෑන්ක් සිල්වා, ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අදීප තිලකරත්න, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් අශෝක පීරිස් සහ සංඥා බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලලිත් ප්‍රේමසිරි, අධ්‍යක්‍ෂවරු, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

පරම්පරා ගණනාවක් තිස්සේ ත්‍රිවිධ හමුදාවේ ‘රේඩියෝමන්’ ලෙස හැඳින්වෙන සංඥාකරුවන්ට හමුදාවේ සන්නිවේදන කටයුතු පිළිබඳ වගකීම පැවරී ඇති අතර ගුවන් විදුලි හා දුරකථන සන්නිවේදනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇත. ඔවුන් විවිධ මට්ටම්වලදී ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් වෙත පණිවිඩ යැවීමේ රාජකාරී සඳහා ගුවන් විදුලි හෝ දුරකථන ක්‍රියාකරුවන් ලෙස යොදා ගනී. |