දේශය වෙනුවෙන් දිවි පිදු විරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි

9th November 2015

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පොපි දිනය - 2015 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අබියසදී ඉරිදා (9) දින සැමරනු ලැබීය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා මුක්ත භඨ සංගමයේ සභාපති (විශ්‍රාමික) බ්‍රිගේඩියර් කේ.ඒ ඥාණවීරගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. දේශය වෙනුවෙන් අභීතව සටන් වැදි වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩියක නිශ්ශබ්දතාවයකින් පසුව උත්සවය ආරම්භ විය. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මල්කලඹක් තබා දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සඳහා ආචාර දැක් වු අතර, ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායම් සංගීතයෙන් දායක විය. අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් ද දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දැක්වීම සඳහා එක් විය. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසාම්මිල් සමගින් ආරාධිතයින් මෙන්ම දේශය වෙනුවෙන් දිවි පිදු විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.