ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්‍ෂකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරයට ළඟාවෙයි

28th September 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්‍ෂකයා ලෙස නිර්භීත හා පරාර්ථකාමී පරිත්‍යාගයන් සිදුකරමින් පසුගිය දිනවල අසමසම වාර්තාවන් පිහිට වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව වර්ණ ධජයන්ට ආශීර්වාද කිරීමේ ප්‍රථම ආගමික වැඩසටහන අද (28) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී පවත්වනු ලැබීය.

මෙම ආගමික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්ප්‍රදායික ශබ්ද පූජාවන් මධ්‍යයේ උතුම් දළඳා වහන්සේ වෙත සමන් පිච්ච මලින් පිරිණු මල් වට්ටියක් සමගින් ‘මුරුතැන්’ සහ ‘ගිලන්පස’ පූජාවක් සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රී දළඳා වහන්සේ වෙත සිදුකෙරන ආගමික වතාවත් ආරම්භ විය.

උතුම් ශ්‍රී දළඳා වහන්සේ වෙත සිදුකෙරන සම්ප්‍රදායික පූජාවන් හා ‘තේවාව’ කටයුතු නිමාවෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාව එතුමාගේ නිල කාර්යාලයේ දී හමුවු අතර ශ්‍රී දළඳා මාළිගාවේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරන ලදි. මෙහිදි, දියවඩන නිලමේතුමන් යුද්ධ හමුදාවේ සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් ද එක් කළ අතර මේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නය 70 නමක් විෂයෙහිලා පවත්වන ලද දානමය පිංකම සඳහා මල්වත්ත පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බෝටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමන්ගල මහානායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරත්න මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත් මහා සංඝරත්නය වැඩම කරන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම දානමය පූණ්‍යකර්මයට වැඩමවා වඳාළ මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වුහ.

එහිදි, මහා සංඝරත්නය විසින් මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදුකරන්නාවු උතුම් සේවය අගය කරමින් එම කාර්යයන් සාර්ථක වේවායි ආශිර්වාද කරමින් කෙටි අනුශාසනාවක් ද පවත්වන ලදි. එසේම දානමය පිංකම අවසානයේ වර්ෂ 1949 සිට මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීම සඳහා දිවිපිදු සහ රණක්‍ෂිතයට පත් සියළුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ‘පැන්වඩා’ පිං පැමිණිවීම සිදුකරන ලද අතර සේවයේ යෙදි සිටින සියලු විරෝදාර රණවිරුවන් සඳහා ද ආශිර්වාද කරමින් සෙත් පැතීමක් ද සිදුකරනු ලැබීය. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, 11 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමෙන් අනතුරුව පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ‍ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී පවත්වනු ලැබු උදෑසන ආගමික වතාවත් අවසන් විය.

අති පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී පවත්වනු ලැබු ආගමික වතාවත්වල දෙවැනි අදියර ලෙස යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම අද (28) දින සන්ධ්‍යාවේ සංකේතාත්මකව සිදුකෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධජය ඇතුළු මව්බිමේ සාමයේ අරුණළු උදාකිරීමට දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන් රැගෙන එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා පත්තිරිප්පුව පරිශ්‍රය වෙත ඉතා භක්තිමත්ව පැමිණියහ.

යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ධජය ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන්හට ශ්‍රී දළඳා මාලිගාවේ තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කරන ලදී. මල්වතු විහාරයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය වල්ගොවගොඩ ශ්‍රී මේධන්කර විමලබුද්ධි හිමියන් ද ආගමික වතාවත් සඳහා වැඩමකර සිටියහ. මෙම ආගමික උත්සවයට සමගාමීව පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක භටපිරිස් විසින් සිකුරාදා (28) දින සන්ධ්‍යාවේ පූජනීය වු උතුම් දළඳා වහන්සේ වෙත ‘ගිලන්පස පූජාවක්’ ද පැවැත්වූහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම ආගමික උත්සවය සඳහා සහභාගි වූහ.

මේ හා සබැඳි අනෙකුත් පුවත්

|