මිත්‍රත්වය සහ සංහිඳියාව පිළිබඳ සිහිකරන යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණේ දී

12th December 2018

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (11) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහභාගි වූ අතර, මෙහිදි ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන් ද්විත්වයෙන්ම නත්තල් කැරොල් ගිතීකා ගායනා කළහ.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන දොරටුව අභියස දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් හරේන් පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කර්නල් බුද්ධික ෆර්ඩිනැන්ඩස් විසින් මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දේවගැති අඟරඳගුරු බෙනඩික් ජෝසප් පියතුමන් සමඟින් ගීතිකා කණ්ඩායම් කිහිපයක් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරමින් එම අවස්ථාව වර්ණවත් කළහ.

මෙහිදි කතෝලික සභාවේ කාදිනල් පියතුමන් මෙන්ම කොළඹ අඟරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් අති උතුම් නත්තල් දින පණිවිඩය සිහිපත් කරනු ලැබීය. |