විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
3rd June 2024
35 වසරක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ඇතුළු එතුමන්ගේ පවුලේ සාමාජිකයන් 2024 ජුනි මස 03 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
එමෙන්ම, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුම සඳහා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දැක්වූ අමිල දායකත්වය සහ රාජකාරිය සඳහා එතුමන්ගේ අඛණ්ඩ කැපවීම ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්කෙරිණි. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.
මෙම අවස්ථාවේදී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 ට ඇතුළත්ව ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සාර්ථකව කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජුනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 ජුනි මස 06 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ එතමන් යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබයි. විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති යන ධූරයන් හොබවමින් සිටියේය.
එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී, 6 ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, 6 ගජබා රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, 6 ගජබා රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු කණ්ඩායම් නිලධාරී, මරදාන යුධෝපකරණ ගබඩා සංකීරණයේ ආරක්‍ෂක නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු), 3 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, 4 ගජබා රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරි, 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (මූල්‍ය), යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), අතරමැදි කඳවුර අනුරාධපුර මාණ්ඩලික නිලධාරි II, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සම්බන්ධීකාරක, 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් මූලස්ථානයේ 19 වන ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරි, 522 පාබල බලසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ අමාත්‍ය (හමුදා උපදේශක) - නිව්යෝර්ක්, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානි සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
රණබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් එතුමන් ‘විශිෂ්ඨ සේවා විභූශණ’, ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කමෙන්’ ද පිදුම් ලබා ඇත. එතුමන්, සිය හමුදා දිවිය තුළදී, ඛණ්ඩ භාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ගුවන් සංග්‍රාමික පාඨමාලාව, Pre-Commission පුහුණු පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - නේපාලය, Comprehensive Crisis Management පාඨමාලාව - හවායි සහ ආරක්‍ෂක උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.