විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

1st May 2024

වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී අඟහරුවාදා (අප්‍රේල් මස 30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් සිදුකළ අනුපමේය සේවය සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ පාබල හමුදාවේ නිලධාරියෙකු දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළහ.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී සිය රාජකාරි කාලසීමාවේදී ලබාදුන් දායකත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මේජර් ජෙනරල් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 නොවැම්බර් මස 12 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී රත්මලාන, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක, කොආවි - 08 සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2024 පෙබරවාරි මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 මැයි මස 03 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගත්තේය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 7 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී සහ ඛණ්ඩභාර නිලධාරි, 541 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත), 53 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අණදෙන සහ උපදේශක, සුඩාන් රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් මූලස්ථානයේ හමුදා නිරීක්‍ෂක, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 6 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (දුක්ගැනවිලි හැසිරවීම), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (විමර්ශන), නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ආරක්‍ෂක අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ කර්නල් (යුද සේවා), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම් 3, 533 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම්, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත රණශූර පදක්කම පිරිනමා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළ, මූලික බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, නිලධාරී ඛණ්ඩ අවි පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලාව - නේපාලය සහ මානුෂීය ආපදා සහන මෙහෙයුම් පාඨමාලාව - තුර්කිය වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.

එමෙන්ම, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (ආරක්‍ෂක අධ්‍යයන) උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ ප්‍රජාතන්ත්‍රවාදය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ඩිප්ලෝමාව සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ ඉගැන්වීමේ සහතිකය වැනි උසස් අධ්‍යාපනික හා හමුදාමය නොවන පාඨමාලාවන් කිහිපයක් ද එතුමන් විසින් හදාරා ඇත.