යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පත්වීමේ ලිපිය ප්‍රදානය කරයි

17th July 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 62 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සඳුදා (17) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් පත්වීම් ලිපිය භාරගත්තේය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මීට ප්‍රථම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය හෙබවූ අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයද හොබවනු ලබයි. එතුමන් හිටපු යුද්ධ හමුදාධිපති ලුතිතන් ලුතිනන් ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) ගේ වැඩිමහල් පුත්‍රයා ද වේ.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වර්ෂ 1968 ඔක්තෝබර් මස 31 දින උපත ලැබූ අතර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා ඇත. පාසල් කාලය තුළ කැපී පෙනෙනු ශිෂ්‍යයෙකු වූ ඔහු මළල ක්‍රීඩා ඉසව් තුලින් සුවිශේෂි දක්‍ෂතා දක්වමින් පාසලට කීර්තිනාමය අත්කර දුන් අයෙකි.

වර්ෂ 1987 මාර්තු මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත බැදි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 27 ට ඇතුලත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පුහුණුවිම් සාර්ථකව හදාරා වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින 2 වන ලූුතිතන් නිලයේ අධිකාරියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 11 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

නව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වර්ෂ 1988 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදි දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්වන අවස්ථාවේදී එවකට යුද්ධ හමුදාධිපති ධූරය හෙබවූ එතුමන්ගේ පියාණන් වූ ලුතිනන් ජෙනරල් හැමිල්ටන් වනසිංහ වීඑස්වී යූඑස්පී එන්ඩීයූ (විශ්‍රාමික) ගේ සුරතින් සිය අධිකාරියට පත්කිරීමේ අසිපත ලබාගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ යුද්ධ හමුදා දිවිය තුළ එතුමන් අණ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් හොබවා ඇත. වර්ෂ 2009 මැයි මාසයට පෙර වසර 22 කට අධික කාලසීමාවක් පැවති උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරුණු යුදමය රාජකාරි කැපවීමෙන් ඉටුකරනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ විධායක අධිකාරි, 26 බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත) සහ බලසේනා මේජර්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආරක්‍ෂක ඛණ්ඩයේ නිලධාරී අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 21 පාබල සේනාංකයේ කාර්යයේ නියුතු ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු අණදෙන නිලධාරි, 59 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 682 සහ 144 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මූලික ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාඨමාලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ ඒකක පුහුණුකරු පාඨමාලාව සහ දිගුදුර සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව, සෑන්ඩර්ස්ට් (Sandhurst) හමුදා පාඨමාලාව (1989) - එක්සත් රාජධානිය, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව (1991) - පාකිස්ථානය, නිලධාරී ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව (1995) - ඉන්දියාව, Mid-Career Course (2006) - පාකිස්ථානය, සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව (2008) - බංගලාදේශය, කාලතුවක්කු බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව (2011) - චීනය, සාමසාධක මෙහෙයුම්වල සන්නද්ධ ගැටුම් අවම කිරීම පිළිබඳ පාඨමාලාව - තුර්කිය සහ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව (2018) - චීනය වැනි දෙස් විදෙහ් පාඨමාලාවන් රැසක් හොබවා ඇත.

චීනයේ බීජිං නුවර පිහිටි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උපායමාර්ගික හමුදා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ත්‍රස්තවාදීන් හමුවේ දැක්වූ සුවිශේෂී දක්‍ෂථාවයන් හේතුවෙන් එතුමන් වෙත ‘රණ ශූර පදක්කම’ පිරිනමා ඇති අතර එතුමන්ගේ නොකැළැල් සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත විශිෂ්ඨ සේවා විභූෂණය සහ උත්තම සේවා පදක්කම ද පිරිනමා ඇත. එමෙන්ම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම - 1998, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම - 1999, 75 වන නිදහස් සංවත්සර සමරු පදක්කම - 2023, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම ද එතුමන් වෙත හිමිගන්වා ඇත.

චාමා වනසිංහ මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එක් පුතනුවෙකුගේ ආදරණීය පියෙකි.