විශ්‍රාම දිවියට එළඹීමට නියමිත මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශණ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
3rd December 2022
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් බදාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රටේ ඒකීය භාවය වෙනුවෙන් ක්‍රියාත්මක කළ මානූෂීය මෙහෙයුමේ ස්වර්ණමය මතකයන් යළි ආවර්ජනය කරමින් වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය සහ කැපකිරීම වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කළේය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් සිදුකළ සේවය සහ එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ දැක්වූ දායකත්වය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්වූ අතර, විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභාශිංෂනයද එක්කළේය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ගේ පවුලේ සාමාජිකයන් සමඟින්ද සුහඳ පිළිසඳරක තිරතවිය.
මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී තම රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තමන් වෙත දක්වන ලද මඟපෙන්වීම සහ දිරිගැන්වීම පිළිබඳව කෘතඥතාවය පළ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සුභාශිංෂණයන්ද එක්කරන ලදී.
සුහද හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.
වර්ෂ 1989 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරිමෙන් පසු දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී. වර්ෂ 2007 පෙබරවාරි මස 04 වැනි දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කරනු ලැබු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2022 ඔක්තෝම්බර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුද්ධ හමුදා සේවා කාලය තුළ ඛණ්ඩභාර නිලධාරි, නිලධාරි අණදෙන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුමේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක, 4 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණ දෙන නිලධාරි, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 14 වන පාබල සේනාංකයේ කලාප අංක 01, කලාප අණදෙන නිලධාරි, 14 , 23 සහ 54 වන පාබල සේනාංකයන්හී කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය -වන්නි කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 653 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමණාකරන අධ්‍යක්‍ෂ සහ 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් හොබවා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශීය හා විදේශීය හමුදා පාඨමාලා රැසක් හදාරා ඇති අතර, ඒ අතර, බලඇණි ආධාරක අවි පාඨමාලාව - මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, ඛණ්ඩ භාර නිලධාරි පාඨමාලාව - මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, බලඇණි පුහුණු උපදේශක පාඨමාලාව සහ නිරීක්ෂණ පශ්චාත් පාඨමාලාව - මාදුරුඔය බලඇණි පුහුණු පාසල, තවද, විශේෂ තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය, මැලේසියාවේ එක්සත් ජාතීන්ගේ සිවිල් ආරක්‍ෂක පාඨමාලාව (UNPOCC) සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව යන පාඨමාලාවන් සාර්ථකව හදාරා නිමකර ඇත.
2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව දියත්කරනු ලැබු මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය හේතුවෙන් එතුමන් වෙත රණ වික්‍රම සහ රණ සූර පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.