යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ‘CIMIC’ උද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවක

27th August 2022

යුද්ධ හමුදා භටපිරිස් විසින් කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද ‘CIMIC’ උද්‍යානය නැරඹීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පැමිණි අතර, එහිදී 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් උදයකුමාර විසින් එතුමන් පිළිගනු ලැබීය. මෙම උද්‍යානය ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු සඳහා මෑත කාලීනව ප්‍රදේශයේ සෑම වයස් කාණ්ඩක් අතරම ඉතා ජනප්‍රිය ස්ථානයක් බවට පත්වී ඇත.

ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින් ‘CIMIC’ උද්‍යානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් එම උද්‍යානයේ සෑම අංශයක්ම සමීපව නීරීක්‍ෂණය කරන ලදී. මෙම අවස්ථාවේදී යාපනය ප්‍රදේශයේ තරුණ පාපන්දු කණ්ඩායම් දෙකක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංචාරයට සමගාමීව පිටිය උණුසුම් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරිපිට සිය දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් සුහද පාපන්දු තරඟයක්ද පැවැත්වූහ.

සුහද පාපන්දු තරඟය අවසානයේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ජයග්‍රාහී කණ්ඩායම වෙත සුබ පැතූ අතර, එම අවස්ථාවේදී ‘CIMIC’ උද්‍යානයට පැමිණි තරුණයින් 35 දෙනෙකු වෙත සපත්තු කට්ටල තොගයක්ද බෙදා දෙන ලදී.