අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් දිවයින පුරා වෙසෙන ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි

9th November 2021

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් හා සේනාංකාධිපතිවරුන් ගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හමුවේ පීඩාවට පත් දිවයින පුරා ජනතාවට සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියි.

ඒ අනුව, මහකළුපහන කඳුවැටිය නායයෑමේ අවධානමක් පවතින බවට අදාළ බලධාරින් විසින් රතු නිවේදනයක් නිකුත් කර දැනුම්දීමෙන් අනතුරුව අද (09) දින උදෑසන එම කඳුවැටිය ආශ්‍රිතව ජීවත්වන පවුල් 11 ක පුද්ගලයින් 42 දෙනෙකු එම අවධානම් සහිත කලාපයෙන් ඉවත්කර විජේසුන්දරාරාම විහාරස්ථානය වෙත රැගෙන යාමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 612 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් කටයුතු කළහ.

ප්‍රදේශයේ ඇති අවදානම් තත්ත්වය පිළිබද දැනුම්දීමත් සමඟ 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වූ එම බලකායේ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු එම ඒකකයේ වාහන භාවිතා කර එම ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන ලදී. ඇතිවිය හැකි අවදානම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත ඔවුන් සතු බඩු බාහිරාදිය කඩිනමින් ඉවත් කරගැනීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලදී. මෙම කටයුතු 612 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ මේ වනවිට සිදුකරමින් පවතී.

මේ අතර, පොල්ගහවෙල, ගොඩවෙල ප්‍රදේශයේ අද (09) දින උදෑසන ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් 50 ක ජනතාව යුද්ධ හමුදා බෝට්ටු සහ වාහන භාවිතා කරමින් මුදාගැනීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරන ලදී. ඒ අනුව, පීඩාවට පත් පුද්ගලයින් බොහෝ දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන, විහාරස්ථාන ඇතුළු අනෙකුත් පොදු ස්ථාන වෙත රැගෙන යාමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

එමෙන්ම, ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකළ පුද්ගලයින්ගේ නිවෙස් තුළ ඇති බඩුබාහිර ඉවත් කිරීම සඳහා 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් යෙදවීමට කටයුතු කරන ලදී.

මේ අතර, පිටාර ගැලීමට ආසන්නව පවතින පුත්තලම, නැදුන්කුලම් වැවේ වැව් බැම්ම බිඳියාමේ අවධානමක පැවතීම හේතුවෙන් එම වැව් බැම්ම ශක්තිමත් කිරීම සඳහා යුද්ධ හමුදා 1 වන බලකාය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භටපිරිස් සහ 143 වන බලසේනාවේ භටපිරිස් එක්ව වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන ලදී.

අවට ගම්වාසීන‍් විසින් අද (9) උදෑසන යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමෙන් අනතුරුව වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා යුද්ධ හමුදා භටපිරිස් වැව් බැම්මේ වැලිකොට්ට අතුරා කඩිනමින් පිලිසකර කරන ලදී.

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් මත 58 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 143 වන වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් එක්ව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන ලදී.

එමෙන්ම, ගාල්ල, බද්දේගම, තිහාරිය, බදුරලිය, කුකුළේගඟ, දොඩංගොඩ, අලව්ව, උඩුබද්දාව, පන්නල, බිංගිරිය, වීරඹුගෙදර, රස්නායකපුර, නාරම්මල, පඩුවස්නුවර නැගෙනහිර සහ තවත් ප්‍රදේශ කිහිපයක් ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට සහන සැලසීම සඳහා අදාළ අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සූදානමින් සිටියි.

එසේම, අද (9) දින අලුයම රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු පස් කන්දට යටවී සිටි එම නිවැසියන් කඩිනමින් මුදාගෙන රෝහල් ගත කිරීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරන ලදී.