කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපති පිළිකා හඳුනාගැනීමේ යන්ත්‍ර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරයි

5th November 2021

කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපති, අතිගරු ආචාර්ය ඒ.සාජ්.යූ. මෙන්ඩිස් මහතා අද (05) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී රෝහල් වෙත බෙදාදීම සඳහා පිළිකා හඳුනාගැනීමේ යන්ත්‍ර සහ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ උපකරණ සංකේතාත්මකව පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිතුමන්, සහකාර යුද සේවා ලේකම් බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතුංග විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යන ලදී. ඉන් අනතුරුව, අතිගරු ආචාර්ය ඒ.සාජ්.යූ මෙන්ඩිස් මහතා සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලාංකික පිළිකා රෝගීන් වෙනුවෙන් උපකරණ පරිත්‍යාග කිරීම පිළිබඳ කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ට යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ස්තූතිය පුද කළේය. “වෛද්‍ය ප්‍රමිතීන් ඉහළ නංවමින් සමාජයේ අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට උපකාර කළ හැකි මෙවැනි පරිත්‍යාග කිරීම තුලින් දෙරට අතර වසර ගණනාවක් පුරා පවතින අන්න්‍යෝන්‍ය සබඳතාවය මැනවින් පිළිබිඹු වේ.” යැයි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කොරියානු ජනරජයේ ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමය (International Interchange Development Association) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත දක්වන ලද ත්‍යාගශීලීත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි සිය කෘතඥාවය පුද කළේය.

මෙම සුහද හමුව අවසානයේ කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපති, අතිගරු ආචාර්ය ඒ.සාජ්.යූ. මෙන්ඩිස් මහතාගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.