රුසියානු හමුදාව සුවිශේෂී දුර්ලභ අවස්ථාවලදී පිරිනමනු ලබන සන්නද්ධ රථ ජීව වෙඩි තැබීම් නිදර්ශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමේ

28th October 2021

රුසියානු එක්සත් සමුහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (26) දින රුසියානු හමුදාවේ ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකවලින් එකක් වන මොස්කව් නුවරට යාබදව පිහිටි ‘නිරන්තර සූදානම’ (constant readiness) සේනාංකය ලෙස ප්‍රකට 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකයේ (4th Guards Tank Division) සංචාරයක නිරත විය.

4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ව්ලැඩ්මයර් ස්වාද්ස්කි (Vladimir Zavadsky) විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සිය කාර්යාලය වෙත කැටුව යන ලදී. එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් එම සේනාංකයේ නිෂ්පාදනය කරනු ලබන සන්නද්ධ රථ, ඒ සඳහා යොදාගන්නා උපකරණ සහ ලෝහමය ද්‍රව්‍ය මෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුවත් කරන ලදී.

දෙරට අතර සුහදත්වය ශක්තිමත් කරමින් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට ඉහළ ගෞරවයක් දක්වමින් ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස පිරිනමනු ලබන සන්නද්ධ රථ ජීව වෙඩි තැබීමේ නිදර්ශණයක්ද මෙහිදි පැවැත්විණි. එසේම, ඉන්ධන ඉතිරි කරගනිමින් පරිසරයට හිතකාමී ලෙස සන්නද්ධ රථ ධාවනය සහ වෙඩිතැබීම පිළිබඳ පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති සමාකෘති මගින් හැකිවන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට එහිදි ඔවුන් පෙන්වා දුන්නේය. එහිදී, අනෙකුත් තාක්‍ෂණික අංශවල විවිධ පැතිකඩයන් පිළිබඳව ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් මහත් උනන්දුවකින් විමසා සිටියේය.

මෙම සංචාරයට තවත් වැදගත්කමක් එක්කරමින්, එම සේනාංකය විසින් නිෂ්පාදනය කරන ලද ගිනි අවි කිහිපයක් පරික්‍ෂා කරබැලීම සඳහා මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට අවස්ථාව උදාවු අතර එම අවි භාවිතයෙන් සිදුකල වෙඩිතැබීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට නව අත්දැකීමක් විය.

මෙම සංචාරය අතරතුරදී, එම සේනාංකයේ නිලධාරින් සිය තාක්‍ෂණික දැනුම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදීමට ප්‍රතිඥා දුන්හ. විවිධ කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි මෙම සේනාංකය විසින් ක්‍රියාන්විත සඳහා භාවිතා කරන උපකරණ නිෂ්පාදනය කිරීම පිළිබඳව ද එම නිලධාරින් මෙහිදි සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට කරුණු පැහැදිලි කළේය.

එහිදී, විශේෂයෙන් නවීන තාක්‍ෂණයෙන් යුත් සන්නද්ධ රථ කිහිපයක් සහ ලොව පුරා බහුලව භාවිතා වන භටපිරිස් ප්‍රවාහනය කරන සන්නද්ධ රථ කිහිපයක් මෙන්ම බර යන්ත්‍රෝපකරණවල අමතර කොටස් ඉතා සූක්‍ෂම ලෙස එකලස් කර අලුත්වැඩියා කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමට ද රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ට අවස්ථාව හිමිවිය.

එම සංචාරයට තවත් සුවිශේෂිත්වයක් එක් කරමින්, එම සේනාංකයේ නිලධාරින් රුසියාවේ නිෂ්පාදනය කරනු ලබන සන්නද්ධ රථ හා ඒවායේ තාක්‍ෂණික පැතිකඩ පිළිබඳ අධ්‍යයන කටයුතු සිදුකරනු ලබන පන්ති කාමරයක් නිරීක්‍ෂණය කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකයේ සිදුකල සංචාරය අවසානයේ, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ව්ලැඩිමීර් සවාඩ්ස්කි (Major General Vladimir Zavadsky) විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුමන් පිරිනැමුවේය. ඉනික්බිතිව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ද සේනාංකාධිපති වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

කන්ටිමිරොවොස්කෙයා සේනාංකය (Kantemirovskaya Division) ලෙස ප්‍රචලිත රුසියානු ආරක්‍ෂක හමුදාවේ සුවිශේෂි සේනාංකයක් වන 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකය (Guards Tank Division) මොස්කව් නුවර සිට නිරිත දෙසින් කිලෝමීටර් 70 ක් පමණ දුරින් ඇති නාරෝ-ෆොමින්ස්ක් (Naro-Fominsk) ප්‍රදේශයේ පිහිටා ඇත.