53 වන සේනාංකයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනෝද ආස්වාදය සඳහා ස්ථානයක්

21st October 2021

පසුගියදා කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත කළ 1 වන බලකායට අයත් දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබූ ‘Strikers’ Bay’ විනෝද ආස්වාදය සඳහා වු ස්ථානය බ්‍රහස්පතින්දා (21) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, 53 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගත් අවස්ථාවේදී  වසර ගණනාවකට පෙර වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් 53 වන සේනාංකයේ 22 වන සේනාංකාධිපති ලෙස සිදුකළ සේවය සිහිපත් කළේය. තවද, මෙම විනෝද ආස්වාදය සඳහා වු ස්ථානය පොළොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා විවෘතව තිබෙන බව ද පැවසුවේය.

ඉන් පසුව, හබරණ රක්‍ෂිතයට යාබද කීනගහවැව ප්‍රදේශයේ ස්ථාපිත කළ ‘Strikers’ Bay’ විනෝද ආස්වාදය සඳහා වු ස්ථානය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී. ඉන් අනතුරුව, නව නිවාඩු නිකේතනය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබුවේය.

ඉන් පසුව, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමූහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.