ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි හමුවී අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කරයි
20th June 2021
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) ප්‍රධානින් පිරිසක් සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.
නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිස කොවිඩ්-19 වෛරසය පැතිරීම හා පාලනය කිරීම, අඛණ්ඩව පැවැත්වෙන සංචරණ සීමාවන්, දිවයින පුරා ක්‍රියාත්මක වන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථානවල යුද්ධ හමුදාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරිමේ අවශ්‍යතාවය පිළිබදව ද සාකච්ඡා කළහ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක් වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේවන විට ක්‍රියාත්මක වන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අනාගතයේ දී මහජනතාවට සෞඛ්‍ය බලධාරීන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කළ හැකි නම් මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට හැකිවන බව පැවසීය. එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමන් සහ රජය හැකි ඉක්මනින් රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවරයන් ගන්නා බවයි. තවද, නීතීඥ සංගමය ඉදිරිපත් කළ කාරණය පිළිබද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධව විකල්ප වැඩ සැලැස්මක් සකස් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.