යුද්ධ හමුදාධිපතිතුමන් විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ව්‍යාජ පුවත් යුද්ධ හමුදාව ප්‍රතික්ෂේප කරයි

3rd May 2021

(මාධ්‍ය නිවේදනය)

යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ හෝටලයක සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇතැයි ප්‍රචාරය කරමින් ව්‍යාජ ලෙස සකසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව අපගේ අවධානයට යොමු වන්නේ මෙම අඟහරුවාදා (04) දින සිට විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා තහනමක් පනවා තිබෙන වටපිටාවකය.

තවමත් පාසල් වියේ පසුවන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහෝදරියගේ දියණිය විවාහ ගිවිසගත් බව නිරූපණය කිරීමට ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කර ඇති ප්‍රචාර යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

කෙසේවුවද, එම ව්‍යාජ පුවත පළ කර ඇතැයි විශ්වාස කෙරෙන පුද්ගලයා එම පුවතේ කොටස් නැවත නිවැරදි කර පළකර ඇති බවට ද නිරීක්‍ෂණය වී ඇත.

මෙවන් තීරණාත්මක මොහොතක රට තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත සියලු පාර්ශවකරුවන්ට උපරිම සහයෝගය ලබාදෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරමින් මෙවැනි ව්‍යාජ තොරතුරු පළකිරීමෙන් වළකින ලෙස හමුදාව ඉල්ලා සිටි. (නිමි)