පකිස්තානු ජාතික දින සැමරුම් උළලේ ආරාධිත අමුත්තෙකු ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වේ
5th April 2021
පකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් මාර්තු මස (23) දින පැවත්වූ ත්‍රිවිධ හමුදා පෙළපාලියට සහ සැමරුම් උත්සවවල විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූයේය.
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පකිස්තානු ජනාධිපතිතුමන් සහභාගී වූ අතර පකිස්තානු ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික කමිටු සභාපති, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ ඉස්ලාමාබාද් හි දේශිය හා විදේශිය රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සහභාගී වූහ.
එම සැමරුම් උත්සවයට සමගාමීව පකිස්ථානු යුද්ධ හමුදාවේ විශේෂිත වූ දක්‍ෂතාවයන් එළි දැක්වීය. ඒ අතර, කෙටි හා දිගු දුර මිසයිල, යුද්ධ ටැංකි, ජෙට් යානා, ඩ්‍රෝන යානා සහ විවිධ යුද මෙවලම් ප්‍රදර්ශනය කරමින් වර්ණවත් හා දර්ශනීය පෙළපාළියක් පැවැත්විය. පෙළපාලියේ තවත් අංගයක් වූ ගුවන් කරනම් ප්‍රේක්‍ෂකයින්ගේ විශේෂ අවධානයට ලක්වූහ.
පකිස්තානු ජාතික දින සැමරුමට සමගාමීව මාර්තු මස 25 වන දින ඉස්ලාමාබාද් නුවර පැවති පැරෂුට් සංදර්ශනයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භට කණ්ඩායමක් එක්වූහ. පකිස්තානු සන්නද්ධ හමුදාව සමඟින් සිදුකළ මෙම පැරෂුට් සංදර්ශනයේදී අඩි 12,000 ක් පමණ උඩු ගුවනේ සිට සිය දස්කම් විදාහා පෑ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භට කණ්ඩායමට ඉතා ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් හිමිවිය.
මෙම වර්ණවත් පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි පකිස්තානු ත්‍රිවිධ හමුදා ප්‍රධානි පකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) සමගින් විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පකිස්තානු ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
එම උත්සවය අතරතුර පකිස්තාන ජනාධිපතිතුමන් ජාතික සම්මාන සහ ජනාධිපති පදක්කම් ප්‍රදානය කළේය. ආරම්භයේදී, පකිස්ථානයේ නිර්මාතෘවරුන් ගේ මතකයන් සිහිකිරීම සඳහා ලාහෝර් සහ කරච්චි ප්‍රදේශවල පිහිටි ස්මාරක අභියසදී පුෂ්පෝපහාර පිරිනමන ලදී.
තවද, යුද්ධ හමුදාධිපතිතුමන් සමග මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
පකිස්තානු ජාතික දිනය එරට රජයේ නිවාඩු දිනයක් වන අතර, හමුදා සහ සිවිල් සරඹ පෙළපාලි ත්‍රිවිධ හමුදා ආචාර වෙඩි මුර මධ්‍යයේ පකිස්තානු දින සැමරුම පැවැත්විය. උත්සවයට සමගාමීව රජයේ මෙන්ම පුද්ගලික ආයතන පරිශ්‍රයන් තුළ ජාතික ධජයන්ගෙන් සහ විවිධ සැරසිලිවලින් අලංකාරවත් කර තිබූහ. |