යුද්ධ හමුදාවෙන් නවීන පහසුකම් වලින් සමන්විත බස්රථ නැවතුමක්
16th March 2021
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද බහු කාර්ය බස් නැවතුම්පොල අඟහරුවාදා (16) දින විවෘත කරනු ලැබිණි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව නිර්මාණය කරනු ලැබු මෙම ‘m stop’ බස් නැවතුම්පල ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් ගේ මාර්ගෝපදේශ යටතේ ඉදිකෙරිනි. එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්, මගී ආසන, Wi-Fi පහසුකම්, වායුසමීකරණ පද්ධතියක්, CCTV පද්ධතිය, ස්වයංක්‍රීය දොරවල් සහිත පිවිසුම් දෙකක්, නගර සිතියම්, වෙළඳ දැන්වීම් සඳහා ඩිජිටල් LCD පද්ධතිය සහ රීලෝඩ් පහසුකම් සහිත කුඩා වෙළඳසැලක් සහ බස්රථ කාලසටහනකින් සමන්විත වේ.
රථ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන් හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව පීත්ත පටිය කපා බස් මගීන්ට නව අත්දැකීමක් එක් කරනු ලබන බස්රථ නැවතුම විවෘත කරන ලදී.
බස් රථ නැවතුම විවෘත කිරීමෙන් පසු එහි කළමණාකරන කටයුතු මෙන්ම ඉදිරි භාරකාරිත්වය ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත පවරනු ලැබිණි.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ගේ දිරිගැන්වීම මත ඉදිකරනු ලැබු අඩි 20 x 8 ක ප්‍රමාණයකින් යුත් රටේ ප්‍රථම වතාවට ඉදිකර ඇති ‘m stop’ බස් නැවතුම මගීන්ට නව අත්දැකීමක් එක් කරනු ඇත.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති, මොබිටෙල් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ද සහභාගී වූහ. |