ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර ගුවන් සංදර්ශනය අභිමානවත් අයුරින්

4th March 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ ගුවන් සංදර්ශනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් 03 දින සවස ගාලු මුවදොර පිටියේදී පැවැත්විය. මෙම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay), බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වූහ.

සිය 70 වන සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාවේ ද සහයෝගිතාවය ඇතිව මාර්තු මස 05 වනදා දක්වා ගුවන් සංදර්ශනය පැවැත්වෙන අතර එමගින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අසල්වැසි සුහදතාවය සහ දිගුකාලීන බැඳීම් මෙන්ම ඉන්දියානු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවන් අතර සහෝදරත්වය සහ බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සිදු වේ. මෙම ගුවන් සංදර්ශනය වෙනුවෙන් ගුවන් යානා 14 කින් යුක්ත ඉන්දියානු ගුවන් හමුදා කණ්ඩායමක් මෙරටට පැමිණියහ.

මෙම අවස්ථාවට සහභාගී වන ඉන්දීය ගුවන් හමුදාවේ ‘සාරන්’ (Sarang) හෙලිකොප්ටර් ගුවන් කරනම් සංදර්ශක කණ්ඩායම, ‘සූරිය කිරාන්’ (Surya Kiran) ගුවන් යානා ප්‍රදර්ශන කණ්ඩායම සහ තේජාස් (Tejas) බහුකාර්ය සැහැල්ලු ගුවන් යානා මගින් මෙම ගුවන් සංදර්ශනය වර්ණවත් වේ.

මෙම ගුවන් සංදර්ශනයේදී ඉන්දියානු ගුවන් යානා 14 ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 24 ක් ද ගාලු මුවදොර පිටියේ ඉහළ අහස සිසාරා සිය ගුවන් සංදර්ශන හැකියාව ප්‍රදර්ශනය කරනු ලබයි. මෙම ගුවන් සංදර්ශනය සිකුරාදා (05) දින පස්වරු 5.00 සිට 6.00 දක්වා පැවැත්වෙයි. |