ඉන්දියානු මහ කොමසාරිස් යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් - 19 එන්නත ලබාගනී
1st March 2021
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා අද (01) දින නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහලට පැමිණ කොවිඩ් - 19 එන්නත ලබාගත්තේය. එම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී වූහ. එම අවස්ථාවේදී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද කොවිඩ් - 19 සඳහා වූ එන්නත ලබාගත්තේය.
ඉන්දියානු මහ කොමසාරිස් සමඟ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාශ් සූඩ් යුද්ධ හමුදා රෝහලේ එන්නත ලබාදීමේ වැඩසටහන සිදුකරන ආකාරය පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම සමඟ සුහද පිළිසඳරක ද නිරත වූහ.
ශ්‍රී ලංකා අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජය විසින් සිදුකරන ලද කොවිඩ් - 19 එන්නත් පරිත්‍යාගය පැසසුමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු රජය විසින් ලබාදුන් ප්‍රථම එන්නත් තොගය ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට ලබාදීමට කටයුතු කළ බව ද සඳහන් කළේය. ඉන්දියානු රජය විසින් සිදුකරන ලද මෙම පරිත්‍යාගය දෙරට අතර සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, එම එන්නත් තොගයෙන් පූජ්‍ය පක්‍ෂය, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යුද්ධ හමුදා රෝහලේදී එන්නත්කරණයට භාජනය කිරීමට යොදාගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ. |