යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකළ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නව භාවනා ගොඩනැගිල්ල විවෘත කරයි

22nd February 2021

යුද්ධ හමුදා භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකරන ලද කඳුබොඩ, බවුන්සෙත් මානසික සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ‘සුධීර කුටිය’ භාවනා ගොඩනැගිල්ල සුභ මෙහොතින් විවෘත කිරීමේ උත්සවය ඊයේ (21) දින පැවැත්විණි. එම අවස්ථාවට බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානාධිකාරි ශාස්ත්‍රපති අතිපූජ්‍ය දියසෙන්පුර විමල නායක හිමිපාණන් වහන්සේ ගේ ආරාධනයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු යුද්ධ හමුදාධිපති සහ වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) සහ තවත් ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

15 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හී ශ්‍රමදායකත්වයෙන් සහ දානපතියන් රැසකගේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකරනු ලැබූ මෙම භාවනා මධ්‍යස්ථානයේ දිනපතා පවත්වනු ලබන භාවනා වැඩසටහන් සඳහා විශාල පිරිසකට සහභාගී වීමට ඉඩ පහසුකම් ඇත.

මෙම භාවනා මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපතිතුමන්, ගරු අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමන්, ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) විසින් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් විවෘත කරනු ලැබූහ. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිවීම පිීණිස පැළයක් ද රෝපණය කරන ලදී. පසුව, සියලුදෙනාම ‘සත්බුදු පූජා’ පිංකම සඳහා සහභාගී වූහ.

මෙම භාවනා මධ්‍යස්ථානය විසින් මේ වනවිට ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් සඳහා භාවනා වැඩසටහන් 30,000 කට ආසන්න ප්‍රමාණයක් යුද්ධ හමුදාවේ හා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් පවත්වා ඇත.

මෙම පිංකම සඳහා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, හමුදා නිලධාරින්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ. |