නිදහස් දින පෙළපාලියේ පෙරහුරුව සඳහා ඉහළ පෙළ ආරක්‍ෂක නිලධාරින්ගේ පරික්‍ෂාවට

1st February 2021

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 2021 පෙබරවාරි මස 4 දින කොළඹ 7 නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිත නිදහස් දින පෙළපාලියේ පෙරහුරු පෙළපාලිය (01) දින උදෑසන පැවති අතර, එම පෙරහුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන ඉහළ පෙළ ආරක්‍ෂක නිලධාරින්ගේ අධීක්‍ෂණයට ලක්විය.

පෙළපාලිය සහ එය ගමන් ගන්නා මාර්ගය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරින් සමඟින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස සෞඛ්‍ය මාර්ගේපදේශයන්ට අනුකූලව පෙළපාලිය පැවැත්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍ය, ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති සහ පාසල් සිසුන් හා ආරාධිතයින් ගේ සහභාගිත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා (04) දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. |