යුද්ධ හමුදාව වෙතින් වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මානුෂීය වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, විනිසුරු අධිනිතිඥ ජෙනරාල් ජනාධිපති නිතිඥ බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ සහ එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය යටතේ යුද්ධ හමුදාව විසින් 2025 සැප්තැම්බර් මස 5 දින වන්නි දිස්ත්‍රික්කයේ තෙන්නියන්කුලම් සහ උයිලන්කුලම් යන ගම්මානවල ග්‍රාමීය ජනතාව නඟා සිටුවීම සඳහා මානුෂීය වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහභාගි විය. වැඩසටහන ආරම්භ කරමින් පවුල් 300 කට ආසන්න සංඛ්‍යාවකට නොමිලේ පිරිසිදු පානීය ජලය සපයන ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කරනු ලැබීය. එමගින් එම ප්‍රදේශයන්හි ජනතාවට ජලය මිලදී ගැනීමට වැය වන වියදම් ඉතිරි කරගැනීමට සහ සෞඛ්‍යයට හිතකර පානීය ජලය ලබාගැනීමටද හැකිවනු ඇත.

තවද, මෙම වැඩසටහන මඟින් ප්‍රදේශයේ තෝරා ගත් අඩු ආදායම් ලාභී පවුල් වල ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු උපකරණ කට්ටල බෙදාදිමක්ද සිදු කරන ලදි.

561 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 10 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර, වැඩසටහන අවසානයේදි පැමිණි සිටි 650 ට අධික සිවිල් වැසියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදි.