යුද්ධ හමුදාව දිවයින පුරා සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා සුභසාධන කඳවුරක් පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2026 පෙබරවාරි මස 24 දින 22 පාබල සේනාංක මූලස්ථානයේදී සුභසාධන කඳවුරක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද සහභාගි වූහ. එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලදී.

මෙම සුභසාධන කඳවුර අතරතුරදී, රෝද පුටු, කිහිලිකරු සහ වෛද්‍ය උපකරණ බෙදා දෙනු ලැබූ අතර, එහිදී ආබාධිත විශ්‍රාමික, වෛද්‍ය හේතූන්මත ඉවත්ව ගිය රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 1,500 කට අධික සංඛ්‍යාවක් සඳහා වෛද්‍ය උපදේශන සේවා, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය සහ පෝෂණ උපදේශන සේවා ලබාදීම සිදුකරන ලදී.

එසේම, මෙම වැඩසටහන සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයන්, වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය යන අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.