යුද්ධ හමුදාධිපතිතුමන් උත්සව සමයේ සුබපැතුම් රැගෙන ආබාධිත රණවිරුවන් බැහැදකියි

නත්තලේ සහ සහෝදරත්වයේ ජීවගුණය පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 දෙසැම්බර් මස 23 දින කඹුරුපිටිය අභිමංසල 2 රාගම රණවිරු සෙවන සහ අත්තිඩිය මිහිඳු සෙත් මැදුර යන ස්ථානයන්හි සංචාරයක නිරත විය.

කඹුරුපිටිය, අභිමංසල 2 වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ට භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජි.එල්.කේ. වීරකෝන් RWP RSP ඇතුළු අභිමන්සල 2 හි සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ජි.ආර්. මධුගොඩ USP විසින් පිළිගන්නා ලදී.

සිය උත්සව සමයේ සුහද නිරීක්ෂණ චාරිකා තවදුරටත් ඉදිරියට ගෙන යමින්, යුද්ධ හමුදාධිපතිතුමන් රාගම රණවිරු සෙවන වෙත පැමිණි අතර, එහිදී රාගම රණවිරු සෙවන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ආර්.එස්. ධර්මරත්න USP විසින් එතුමාව පිළිගනු ලැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.එස්. ප්‍රසාද් RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

අවසාන වශයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන් අත්තිඩිය මිහිඳු සෙත් මැදුර වෙත පැමිණි අතර, එහිදී මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි අල්මේදා RSP විසින් එතුමන්ව පිළිගනු ලැබීය. එහිදී නත්තල් පණිවිඩය සහ ආශිර්වාද ගැන්වීම කොළඹ සහායක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් විසින් සිදු කරන ලදී.