යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා - මධ්‍යම නිල සංචාරයක

මෙහෙයුම් සූදානම මෙන්ම පරිපාලන හා සැපයුම් සූදානම පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 නොවැම්බර් මස 01 දින ආරක්‍ෂ සේනා මූලස්ථානය - මධ්‍යම වෙත නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂ සේනා මූලස්ථානය - මධ්‍යම වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ රණවි්රු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.ඒ.පී ලියනගේ RWP RSP USP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ පැවති වෛද්‍ය කඳවුරට ද සහභාගී වූ අතර, මෙම වෛද්‍ය කඳවුර රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව 6 වන අදියර යටතේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වන ලදී.

එම වෛද්‍ය සායනය අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදෙනු ලැබූ ඇස් කණ්ණාඩි 300 ක් සහ අක්‍ෂි වෛද්‍ය බී.ඒ.එස්.අයි.ඒ. බමුණුසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ Eye Care Institute ආයතනය විසින් ලබාදුන් ඇස් කණ්ණාඩි 50 ක් යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණි අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා ප්‍රදානය කරන ලදී. එසේම, සහභාගී වූ සියලුම දෙනා වෙත තේ පැන් සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය.

සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද නව නිලධාරි නිවස්න සංකීර්ණය ද විවෘත කරන ලදී.

විවෘත කිරීමෙන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෝහලේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ සුභසාධනය වැඩි දියුණු කිරීම සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්න සංකීර්ණයේ පවතින පහසුකම් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව, වෛද්‍ය රසායනාගාරය ද නිරීක්‍ෂනය කරන ලදී.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත පැමිණි අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් එම මූලස්ථානයේ මෙහෙයුම් සූදානම සහ රාජකාරි කරනු ලබන භටපිරිස්හි සුභසාධනය පිළිබඳව එතුමන්ව දැනුවත් කරන ලදී. එම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් මූලස්ථානයේ පිහිටි කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය ද නිරීක්‍ෂනය කළේය.

තවද, එතුමන් විසින් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ ආරක්‍ෂක සේනා - මධ්‍යම යටතේ ස්ථාපිත ඒකකයන්හිද සංචාරය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.