යුද්ධ හමුදාධිපතිතුමන් 11 පාබල සේනාංකයේ ආපදා සහන කටයුතු නිරීක්ෂණය සඳහා සංචාරයක

යුද්ධ හමුදාධිපතිතුමන් 11 පාබල සේනාංකයේ බල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් එහි දැනට ක්‍රියාත්මක වන ආපදා සහන මෙහෙයුම්වල ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.

ප්‍රථමයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ගම්පොළ ජුම්මා පල්ලියේ ස්ථාපනය කර ඇති සහන සේවා රැඳවුම් මධ්‍යස්ථානයට ගිය අතර, එහිදී අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සිවිල් ජනතාවගේ තත්ත්වය සහ යහපැවැත්ම සොයා බැලීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් අවතැන්වූවන්ගේ ක්ෂණික අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය දෑ හඳුනා ගැනීම සඳහා නිලධාරීන් සහ ජනතාව සමඟ සාකච්ඡා කළේය.

ඉන්පසු යුද්ධ හමුදාධිපතිතුමන් සහන සේවා සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින විශේෂ බලකායේ සහ ගුවන් සංක්‍රමික බලසේනා භට පිරිස් විසින් ස්ථාපිත කර ඇති මෙහෙයුම් මූලස්ථානය නිරීක්ෂණය කළේය.

තවද, යුද්ධ හමුදාධිපතිතුමන් ආපදාවෙන් හානි සිදු වූ ගම්පොළ ප්‍රදේශයේ සේවය කරන සෙබලෙකුගේ නිවසද පරීක්ෂා කරන ලදී.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් භට පිරිස් විසින් ගම්පොල නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ස්ථානය හා නාවලපිටිය ඉංජිනේරු බලකා ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන වැඩබිම පරීක්ෂා කළේය. පසුව නාරන්විට විහාරස්ථානයේ පිහිටි අපදා සහන සේවා මධ්‍යස්ථානයට ද පැමිණියේය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් දොළුව ප්‍රදේශයේ පිහිටි 111 වන පාබල බලසේනාව මඟින් දැනට ක්‍රියාත්මක කරන සහන සේවා මෙහෙයුම් පිළිබඳ සොයා බැලීමක නිරත වෙමින් සිය සංචාරයේ වැඩකටයුතු අවසන් කරන ලදී. එමෙන්ම ගම්පොළ, වැලිකන්ද ප්‍රදේශයේ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි පාකිස්ථානු යුද්ධ හමුදා ඉංජිනේරු කණ්ඩායම සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහඳ සාකච්ඡාවක නිරත විය.