11th September 2025
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 සැප්තැම්බර් මස 01, 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්විණි. ඒ සඳහා රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 කට වැඩි පිරිසක් තම දක්‍ෂතා, විනය සහ ක්‍රීඩාශීලීත්වය පෙන්නුම් කළහ.
තරඟාවලියේ සමාප්ති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc, සහභාගි විය.
තරඟාවලියේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කණ්ඩායම විසින් ලකුණු 31 ක් ලබාගනිමින් පිරිමි අංශයේ ශූරතාවය දිනාගත් අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම විසින් ලකුණු 23.5 ක් ලබාගනිමින් එම අංශයේ අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.
එසේම, 3(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම විසින් ලකුණු 17ක් ලබාගනිමින් කාන්තා අංශයේ ශූරතාවය දිනාගත් අතර, 2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම විසින් ලකුණු 10ක් ලබාගනිමින් අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.
තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.පී.ටී.පී. චන්ද්‍රසේකර විසින් හිමිකර ගත් අතර, දක්‍ෂතම පරාජිත ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.ඒ.ජී.එම් ප්‍රේමරත්න විසින් දිනා ගන්නා ලදී.