යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් යාපනය රදගුරුතුමන් බැහැදකියි

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 පෙබරවාරි මස 12 වන දින යාපනය රදගුරු මන්දිරය වෙත ගොස් යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැදුටුවේය.

මෙම සුහද සාකච්ඡාව අතරතුරදී, උතුරු පළාතේ පශ්චාත් යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව ඉටුකළ සුවිශේෂී දායකත්වය රදගුරුතුමන්ගේ ඇගයීමට ලක්විය. එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා හමුදාව අඛණ්ඩව ඉටුකරන කාර්යභාරය පිළිබඳවද එතුමන් සිය ප්‍රසාදය පළ කළේය. තවද, ප්‍රජාවගේ අනාගත අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් යුද හමුදාවේ සහාය ලබාදෙන ලෙසද රදගුරුතුමන් මෙහිදී ඉල්ලා සිටියේය

යාපනය ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ සාමාන්‍ය ජන ජීවිතය නගාසිටුවීමට පෙර සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දැරූ උත්සාහයන් පිළිබඳවද රදගුරුතුමන් මෙහිදී සිහිපත් කළේය. එමෙන්ම, අතීතයේ එම ප්‍රදේශය මුහුණ දුන් අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී තමන් ලැබූ අත්දැකීම්ද එතුමන් මෙහිදී බෙදාහදා ගත්තේය.

512 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ද මෙම අවස්ථාවට සහභාගී වූහ.