විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර 2025 ජූලි මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 ජනවාරි මස 25 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 12 (ස්වෙච්ඡා) යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1990 අගෝස්තු මස 05 දින විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ඔක්තෝබර් මස 08 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජූලි මස 31 දිනට වයස අවුරුදු 57 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා ස්වෙච්ඡා බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කණ්ඩායම් නිලධාරි අණදෙන සහ ප්‍රවාහන භාර නිලධාරි සහ 2 වන හා 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවල පාලන කණ්ඩායමේ නිලධාරි අණදෙන, 21 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරි සහ 16 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි යන ප්‍රධාන ධූරයන් හොබවන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය යටතේ ස්ථාපිත කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පාලන) සහ පුහුණු පරීක්‍ෂක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක වැනි ධූරයන් ද හෙබවීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවාකාලය තුළදී, විශේෂ බලකා පුහුණු පාඨමාලාව, යාන්ත්‍රික තාක්‍ෂණික පාඨමාලාව, ඒකක පරිපාලන සහ ගිණුම් තැබීමේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ආරක්‍ෂක ජනමාධ්‍ය සහ සන්නිවේදන පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ නායකත්ව ප්‍රවර්ධන පාඨමාලාව, උසස් සිවිල් කටයුතු සම්බන්ධීකරණ පාඨමාලාව සහ Balance Style පාඨමාලාව ඇතුළු දේශීය පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව හදාරන ලදී.

එමෙන්ම, තරුණ නිලධාරි පාඨමාලාව, කමාන්ඩෝ පාඨමාලාව සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව යන ඉන්දියානු පුහුණු පාඨමාලා කිහිපයක් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව, ඇලිසන් අධ්‍යයන ආයතනය වෙතින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වූ සේවා ස්ථාන ආරක්‍ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයෙන් කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ ආයුර්වේද උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ එම විශ්වවිද්‍යාලයේම බෞද්ධ ආයුර්වේද උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි අධ්‍යාපන සුදුසුකම් ද සපුරාගන්නා ලදී.